මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

May 19, 2010

පිටුව 63 සහ 64

(පිටුව 63)
කසී භාරද්වාජ බමුණා, අප මෙන් ගොවිතැන් කර අස්වැන්න නෙලා ගෙන භුක්ති විදුවයි බුදු පියාණන්වහන්සේට කියා සිටි අවස්ථාවේ බමුණ මමද සීසා වපුරා අස්වැන්න ගෙන ඵලය භුක්ති විදින කෙනෙක්මියි උපමා සසදා නිවන් මග පෙන්වූ පසු බමුණාටද සදහම් අවබෝධය ලැබුන අයුරු කසී භරද්වාජ සුත්‍රයේ පෙන්වා ඇත.
අපත් මෙසේ සසදා බලා මේ මහා ගුණස්කන්ධයට ඇතුළු වෙමු.
ගොවියෙක් බාහිර ලෝකයේ කෙතක් සාදන අයුරු උපමා කර ගනිමින් අපද අභ්‍යන්තරයේ අනුත්තර පින් කෙත සෑදිය යුතුය.
පෙර කෙතක් සාදා නොතිබූ සරු පස් ඇති බිමක් ගොවියා දකින්නේ කෙසේද? එය මහ ගස්, මහ වැල් වලින් වටවූ කැලෑවකි. මේවා වල් ගස්ය, වල් වැල්ය, මෙබදු කැලෑවක් යම් තැනක වේ නම් ඒ කැලය තුල ජීවත් වන්නේ කවුද? අලි , කොටි, වලස්සු, උරුලෑවෝ, කබරගොයි, කටුස්සෝ ආදී බොහෝ වල් සතුන්ගේ වාස භූමියකි එම කැලෑව.
ආර්ය මාර්ගයට නොපිලිපන් කාම භෝගීව පංච කාමයෙහි ඇලී ගැලී වාසය කරන කෙනා‍ගේ සිතද මේ මහ කැලය වැනිය. පුහු අහංකාර කමින් මුසපත්ව මහන්තත්ව විද්‍යාමාන වන්නේ මහා ගස්ය. බල පුළුවන් කරුවන් සහ බැදී, රැදී සිටින පුහු ආධාරක මේ හිත නැමැති කැලයේ අහංකාර ගස්වල එතුන වැල් වැනිය.
සතුන්ට සුදුසු මහ කැලෑ පරිසරය වැනි මෙවන් සිත් තුල සිටින අලි කවුද? ගාම්භීර මහන්තත්ත ලෙස ඒ හිතේ අලි විද්‍යාමානය. දත් නියවමින් ලෝකයා වෙත කඩා පනිමින් ඔවුන් සතුදේ හූරාකන ලෙස විද්යාමාන වන්නේ හිත නැමැති කැලයේ සිටින කොටිය. රවමින් ගොරවමින් මුහුණ කළු කරගෙන පුප්පන්නේ වලස්සුය. ගැරහීමෙන් ඇඩියාවෙන් වැනි වැනි දුක් වෙවී සිටින්නේ හිතේ සිටින ගැරඩිය. අනුන්ට ණයට යමක් දී නොදෙන විට එම ණය අයාගෙන පහර දෙන්නට මාන බලමින් පුප්පා ගෙන සිටින්නේ සිත නැමැති කැලයේ සිටින නයි සමූහයායි. නොනිසි තැන ගැවසෙමින් අනුන්ට හිංගි හිංසා කරන්ට කටයුතු කරන්නේ සිත නැමැති කැලයේ සිටන ගෝනුස්සෝය. වල් කම් කරමින් හූරා හෙවත් නායකයා වෙන්නට බලන්නේ හිත නැමැති කැලයේ සිටන වල් ඌරාය. මාන්නක්කාර ගස් වැනි අය ඇසුරේ සිට අනුන්ට ගෙම්බර් දමන්නේ හිත නැමැති කැලයේ සිටින ගෙම්බාය.

(පිටුව 64)
උඩගුව සිට අන්සතු දෙය උස්සා ගන්ට බලන්නේ හිත නැමැති කැලයේ සිටින උකුස්සාය. කාපු තැන පුට කරන්නේ හෙවත් පහරන්නේ හිත නැමැති කැලයේ සිටින කපුටාය. වාසි පැත්තට හැඩ ගැසෙමින් කටුක වූ වැඩ කරන්නේ හිත නැමැති කැලයේ සිටින කටුස්සාය. ගුණ දම් ඇති පිරිස් ඇසුරු කරමින් සිට කාමය ලියලවන පාප වැඩ කරන්නේ හිත නැමැති කැලයේ සිටින බෝදිලියාය. ආර්ය ගුණ නොතකා උතුමන්ට හූ කියන්නේ හිත නැමැති කැලයේ සිටින නරියාය. යමක් දෙන්නට පොරොන්දු වී හා කියා එන්ට යැයි ඇරයුම් කොට (වා වා කියා) රවටා පැන යන්නේ සිත නැමැති කැලයේ සිටින හාවාය. මිහි හෙවත් පොළව මැන ගෙන එබි කම් කරමින් වැට කඩොලු තම වාසියට කඩා මැන ගන්නේ මීමින්නාය. මායිම් ඉන්න මහ ලොකු දෙයක් කරගෙන අනුන්ට නිතර කෑ ‍කෝ ගසන්නේ මයිනාය. ගිරියෙන් රාවය දෙමින් තොල් නිය රතු කර අත් සලමින් ගසන්නේ මේ හිත නැමැති කැලයේ ගිරවාය. මහ පොළොවේ සාරය විනාශ කරමින් ජලය සිදී වියළී යන ලෙස ඒ සාරය කා දව්නේ මී හරකාය. කාම මුලාවෙන් අලංකාරව අහිංසක සිනාව පෙන්වා මෝහයෙන් සිටින්නේ මුවාය. ඒ ඒ ගවේශනයන්ට අණ දෙමින් අහංකාරව සිටින්නේ ගෝනාය. අවංකව කෙලින් හිස ඔසාවා සිටින්නට නොහැකිව ලෝභ, ද්වේශ, මෝහ කටයුතු කර සමාජයට මුහුණ දෙන්නට බැරිව නැමී, වකුටු වී, ගුලිවී සිටින නා නා ප්‍රකාර ගති මේ හිත නැමැති කැලයේ සිටින නොයෙක් ආකාරයේ තිරිසනුන්ය.
සියලු කැලෑ සතුන්ගේ මුල් උපත කොතැනදැයි දකින්නට නම් මෙසේ හිත නැමැති කැලයට එබිකම් කර බැලිය යුතුය.
ලොව ගොවියා මෙබදු කැලෑව තිබියදී කෙසේවත් කෙතක් සෑදිය නොහැකි බව දැන සුදුසු ආයුධ ගෙන කැලයට වැදී එම ගස්, වැල් කපා දමයි. ආයුධ පහර වදින ගස් වැල් වලට කල හැකි කිසිවක් නොමැති බැවින් ආයුධ මොට කරන්නටද බැරි බැවින් සිදුවන්නේ නැගී සිටිය නොහැකිව ඇද වැටීමයි. දැන් අදුර රජ කල පෙදෙසම ආලෝකමත්ය. සතුන් පැන ගොස් ඇත.
මේ උපමා පරිදි හිත නැමැති මහ කැලය නුවණ නැමැති ආයුධයෙන් දැන පුහුමානය, අහංකාරකම, පුහු ලොක්කන්ගේ සම්බන්ධයෙන් තිබූ ආසාධාරණ කම් නැමැති ගස්, වැල් කපා බිම හෙලනු ඇත. නුවණින් විමසමින් ඒවායෙන් වෙන්වේ. තිරිසන් ගති සහිත සියලු අදහස් වලට දැන් පසු තලයක් නොමැති බැවින් සිතේ මුල් බැස තිබූ තිරිසන් සත්ව ගති දැන් පලාගොස්ය. පළමු නුවණේ ආලෝකය මනස පහන් කර ඇත.

0 comments: