මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Jan 8, 2010

පිටුව 09 සහ 10

(පිටුව 09)
තෙවනුව ඇත්තේ සග්ග කථාවයි.
සාම්ප්‍රධායිකව ස්වර්ගය හෙවත් දිව්‍ය ලෝක සම්පත් ගැන දේශනා කරන විට දිව්‍ය කාමයට හිත බැදෙන ලක්ෂණ ඇතිවිය හැකිය.  කාම පිපාසයෙන් සසර දුවන සත්වයන්ට දිව්‍ය සම්පත් ගැන දේශනා කරන විට ඉතා ප්‍රවේශමෙන් සිහි එළවා ගෙන ඒ දේශනා කල යුතුයි.
මිනිස් ලොව, දෙව් ලොව, බඹ ලොව ආදී සුගති ස්ථානවල උපත ලැබීමෙන් ශාසන පිළිවෙතට ලැබෙන මහත් උපනිශ්‍රය පිලිබදව විග්‍රහ කිරීම ඉතා යහපති.  ආයුෂ, වර්ණය, සැපය, බලය, නුවණ ලැබුවත් කාම සම්පත්තියට, භව සම්පත්තියට, වහල් වුනොත් නිසි ඵල නොලැබෙන බැවින් ඒ ගුණාංගයන් සසුන් මග වඩන්න අත්‍යාවශ්‍යබව පෙන්වා සුගති උපදෙස් නිසි ඵල ලැබෙන්නේ එසේ අදිටන් කරගැනීමෙන් බව දේශනා කිරීමෙන් මෝහක්ෂයට මහත් අනුබලයක් ලැබෙන අයුරු විග්‍රහ කිරීමෙන් සග්ග කථාව මල් ඵල දරනු ඇත.
සිව් වෙනුව ඇත්තේ ආදීනව කථාවයි.
රාග ක්ෂය, ද්වේශ ක්ෂය, මෝහ ක්ෂය නිවන බැවින් ඊට උපනිශ්‍රය ලැබුන කෙනෙකුට ආදීනව කථාව ඉතා තදින් කාවැදී නිවනට බර වනු ඇත. 
ආදීනව කථාවේ ලෝ සතුන් දුගතිවල විදින දුක් කරදර ‍කීම මෙන්ම ‍මොන සුගතියක උපන්නත් දුකසේම ප්‍රත්‍ය සංස්කාර සකසන හැටි, ලැබෙන කුමන ආකාර සුගති භවයක් නමුත් විපරිණාමයට පත්ව සියළුදේ ගෙවී‍ගොස් විනාශ වන හැටි නොයෙක් ලෙසින් විස්තර කර වැටහෙන්නට වේ.  හිස්‍ ලෙස මෙන්ම ගැවසෙන්ට වටිනා ස්ථාන නොවන ලෙස වැටහෙන්ට පටන් ගනී.
කුමන භවයක මොන සම්පත්තියක් දැරුවත් ඒවා ලබාදුන් පුණ්‍ය කර්ම ශක්තීන් ගෙවී යන බැවින් එම සම්පත් සුබ සේ පෙන්වන මායාවක් ලෙස සත්වයා මුලාකර දුක් ගිනි කවමින් සසර ඇවිද්දවන මායාවක් බවත් ඒවා නැති නම් දුක නැති බවත් ආදීනව ලෙස පෙන්විය යුතුයි.
මෙසේ සසර ගිනි ලෙස, හිස් ලෙස ආදීනව දකින විට ඒ ගිනි නිවා දැමීමම සැනසීම ලෙස ශ්‍රාවකයාගේ සිත, නිවන දෙසට නැමෙන්නට පටන් ගනී. 


(පිටුව 10)
දේශනාවේ අවසාන කොටස නෙක්කම්ම කථාවයි.
නෙක්කම්ම කථාවේදී පරම රමණීය වූ අති උතුම් අජරාමර ‍නිවන් සම්පත්තිය ලැබේවායි දේශනා කරන විට නිවනේ ඇත්දැකීම් නැති සාමාන්‍ය මිනිසාට පැවැත්මක ස්වභාවයක්ම නිවන ලෙස සිතී මුලා වීමටද ඉඩ ඇත.
ඒ දුක් සහිත, ගිනි සහිත භව ගමනකට හේතුවන මුලා සහගත තෘෂ්ණාවෙන් නික්මීම නිවන බවත් ඒ සදහා ආර්ය වූ අෂ්ටාංගික මාර්ගය තේරුම් ගෙන පිලිපැදීමෙන් දුක් ගින්නෙන් සදහටම නිදහස් වන බවත් ක්ලේෂ පරිනිර්වානය සහ පංචස්කන්ඛ පරිනිර්වානයම මහා දුක් ගිනිකද නිවන නියම සැනසීම ලෙසින් දේශනා කරන විට දුක පිරිසිද දැන දුක් ගින්නට හේතුවන තෘෂ්ණා දෘෂ්ටි දුරු කර නිවන ප්‍රත්‍යක්ෂ කර සැනසෙන්නට අප්‍රමාදව දුක් දුරු කරන ප්‍රතිපදාව භාවනා කල යුතුයි.  යන ආර්ය දර්ශනය ඇතිවනු ඇත.
"යං කිඤ්චී සමුදය ධම්මං - සබ්බං තං නිරෝධ ධම්මං"
"යම් කිසි හටගන්නා ධර්ම ස්වභාවයක් වේද ඒ සියල්ල නැසෙන ස්වභාවයෝය"  නිරෝධ යන්නට සැරිසැරීමට නුසුදුසු යන අරුත ඉතා සුදුසු බව පෙනේ.
ඒ අදහස සරල ලෙස වැටහුනද සුළු පටු අදහසක් නොවේ.  ලොව්තුරා බුදු පියාණන් වහන්සේ නමක් විසින්ම මේ අදහස විද්‍යාමාන කරන තුරු ලොව කිසිවෙකුටත් පළමුව ගෝචර නොවන අදහසකි.  බුදු සසුනක් අතුරුදන් වූ පසු යලි බුදු වරයන් වහන්සේ නමක් ලොව පහල වන තුරු බුද්ධාන්තරයක් කියන අති දීර්ඝ කාලයක් තුල අවිද්‍යාමානය.
මේ අදහස ප්‍රත්‍යක්ෂ වන්නේ සක්වලක සත්වයෝ මහ පොළවට සම කළොත් නිය පිටට ගත් පස් තරම් ඉතා සුළු ප්‍රමාණයකටය.  එනම් ගෞරවයෙන් මේ බුද්ධ වචනය ශ්‍රවණය කළ සත්පුරුෂ බුද්ධිමතුන්ටය.  බෞද්ධ නාමයෙන් බොහෝ දහම් පද කට පාඩම් කරගෙන තර්ක වාදයට බැසගත් පින්වත් පිරිසටද නුවණින් මෙනෙහි නොකිරීම හේතුවෙන් ගල පිට කැද වත්කලා සේ උඩින් මත්තෙන් අරුත නොවැටහී පදය ලිස්සා යන්නේය. 

0 comments: