මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Jan 11, 2010

පිටුව 13 සහ 14

 
(පිටුව 13)
දැනට වසර දහසකට පමණ පෙර එබදු උතුමන්ගේ විශේෂත්වයක් අභිඥා බල ආදියෙන් විද්‍යාමාන වූ අයුරු නොයෙක් පොත්වල සහ භාවිතයේ පවතියි.  මෙකල සමහර දේශකයාණන් වහන්සේලා ඊට පිළිතුරු ලෙස මැජික් පෙන්වීම බුද්ධාගම නොවේ කියා ලිස්සා යන්නට මාන බලති. 
අනුන් රවටන මැජික් කා‍රයෝ නම් කෙසේ වත් බෞද්ධයෝ යැයි පිළිගත නොහැක.  එහෙත් පංච අභිඥා අෂ්ට සම්පත්ති මැජික් ගණයට දමා කථා කිරීම නම් යහපත් කථාවක් නොවේ.  ඒ උත්තරීතර ගුණාංග හැකියාවන් සෘද්ධි බල මැජික් ගණයට දැමුවොත් ත්‍රිපිටක පෙළ දහම් සූත්‍ර වලින් හරි අඩක් පමණ ඉවත් කරන්න සිදුවේ.  බොරුවක් සත්‍ය යැයි, ධර්මයැයි පවත්වාගෙන ආවා නම් ඒ පෙළපතම බෞද්ධ ගණයට තබන්නටද බැරිය.  වසර දෙදහස් පන්සීයක පමණ දඅර අතීතයට පටන් ගෙන ආ ථෙරවාදී බුදු දහම තම තමන්ගේ දෘෂ්ඨි මත වාද මත වෙන්කරන්නට ගියොත් අද ලක්දිව සග පරපුරම අනාථය.  බෞද්ධ පිරිසම අනාථය.  පෙළ දහම් වැකි නොකපා ඒවාට කලින් කල දුන් අරුත් විමසනවාත් ඇත්දැයි විමසීම නම් ඉතා යහපති.  අරුත් විපරිතයක් වූවා නම් හෙළ අටුවා විනාශයෙන් පසු සිදු වූවක් විය යුතුය.
හෙළ අටුවා පැවති දැනට වසර දහසකට ආසන්න පෙර කල ධ්‍යාන ලාභී, අභිඥාලාභී, මාර්ගඵල ලාභී උතුමන් වැඩ සිටිය බව, පොත පතෙහි මෙන්ම සමාජ ආශ්‍රිත ජනකථා ආදියෙහිද සදහන් වේ.  මෙවන් විස්තරයක් කරන්නට සිදු වූවේ ආර්ය මාර්ගය විමසා තේරුම් ගන්නට පෙර පූර්ව ශාසන පසුතලය තේරුම් ගෙන සිටිය යුතු බැවිනි. 
ශාසන මූල පරිසරය වික්ෂිප්ත වී ගියහොත් උතුරු මිනිස් දම් පහළ ‍කිරීමට හේතු කාරක වූ උපනිශ්‍රය දුර්වල වී යනු ඇත.
කරුණු, කාරණා හරියට තේරුම් ගන්නට නොහැකි වුවහොත් අපගේ උත්තම ථෙර පරපුර වැඩ සිටි වසර දෙදහස් පන්සීයක පමණ දුරාතීතයේ පටන් පැවතුන වන්දනාමාන පුද සත්කාර ක්‍රම විපරීත අදහස් වලින් යටපත්වී ආමිස පූජා භාණ්ඩ ගණයට, මෝඩ බෞද්ධ ඇදහිලි ගණයට ඇද වැටී විනාශ වීමට පුළුවන.  සුන්දර බුද්ධාගම යැයි අපවාද කරන්නටද පුළුවන.  අරුත යටපත් වුවොත් ප්‍රතිඵලද යටපත් වනු ඇත.  එම අරුත නුවණින් විමසා බලා යළි ඔප්නංවනවා වෙනුවට මෙතුවක් කල් පවත්වා ගෙන ආ ක්‍රම රාටාව විනාශ කළොත් වන්නේ කබලෙන් ලිපට වැටීමටය. 

(පිටුව 14)
අරුත් බර බෞද්ධ ජීවිතයකට අඩිතාලම දැමුන උපහාර පූජා භාණ්ඩ විදි අරුත යටපත් වීමෙන් සෝදා පාළුවට ලක්වීම මෙකල බෞද්ධ පින්වත් පිරිසට ධාර්මික හැගුම් දුබල වීමට හේතු වී ඇත.  අරුත් බර දහම් හැගුම් වෙනුවට කාමුක වූ, දූෂ්‍ය වූ, සංකර සිරිත් විරිත් මහත් ඕනෑකමින් බදාගන්නට පිරිස පෙළඹෙනු ඇත.  සංකර වැඩ කොතෙක් ලොව විද්‍යාමාන වුවත් දහමින් සත් චර්යාවෙන් පෝෂණය වූ බෞද්ධ චිනතනය වී සියල්ල පා පෑගෙන දූවිලි සේ ප්‍රති‍ක්ෂේප කරන්ට දක්ෂ වනු ඇත.
පැරණි බොදු අරුත් මතුකර නව බොදු ජීවයෙන් පනගන්වා ගත් බොදු පිරිසකට ඒ උත්තරීතර ධ්‍යාන, අභිඥා, මාර්ග ඵල සදහා ඇති බාධක පළමුව මග හරවා ගත හැකිය.
බෝ මළුව, සෑ මළුව, චෛත්‍ය, විහාර ගෙය ආදී පුරාතනය බොදු අසිරිත බැබලුන සිද්ධස්ථාන ඇසුරු කර දහම් රසයෙන් පන පෙවුන බෞද්ධ වන්දනාමාන පූජා උපහාර සම්ප්‍රදායික හර පද්ධතියෙන් ඉවත පැන කාමුක රංග මණ්ඩල බවට නිරායාසයෙන් ඇදී යන බව මෙකල නොරහසකි.  මේවාට පුද්ගලිකව දොස් නැගීම සුදුසු නැත.  දුසිරිත් ඇසුරු දුසිරිත් ප්‍රතිඵල ලබාදෙන බව ධර්මතාවයකි.  පෙර කල හරවත්ව සිදුකල සුචරිත ධාර්මික හර පද්ධතිය උද්දීපනය කර දුසිරිත් ඵලය මුලිනුපුටා දමන්නට මෙදලද කල් පසුවී නැත. 
යොනිසෝ මනසිකාරයෙන් යුතුව පෙර පටන් අරුත් බරව කර ගෙන ආ ශාසන සිරිත් විරිත් පූජා විධි විමසා බලා යලිදු භාවිතා කරමු.  
බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු පළමුව ලොවට පෙන්වා වදාළේ කෘතෝපකාර සැලකීමේ උතුම් ගුණයි.  "අනිමිස ලෝචන"  පූජාව යැයි මෙය පෙන්වා දෙයි.  
කෘතගුණ සැලකීම ප්‍රධාන කරගත් බෞද්ධයා අන්‍යේන්‍ය සහයෝගය.  ලාභය සියල්ලන් අතර බෙදා හදා පරිභෝගය.  පලි නොගැනීම.  සමගියෙන් සාමයෙන් ජීවත් වීම උසස් ගුණාංගයන් කොට සැලකූහ.  
බෞද්ධ චාරිත්‍ර වලදී මේ ගුණ ඉහළින්ම කැපී පෙනුණි.  මෙකලද මේ සිරිත් එතරම් අර්ථවත් බව නොවැටහුනත් චාරිත්‍ර වශයෙන් මගුල් ගෙයක්.  දානයක් උත්සවයක් යෙදුන විට තම ගම් වාසීන්ට හිතවතුන්ට දැනුම් දී සහභාගී කරවාගෙන බතින් බුලතින් සංග්‍රහ කොට තුටු සිතින් එම කටයුතු කරන්නට වග බලාගනී.    

0 comments: