මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Jun 2, 2010

පිටුව 79 සහ 80

(පිටුව 79)
උත්තම දමනය නම් තමාගේ සංසාර ගමනට හේතුවන අවිද්‍යා සහගත, තෘෂ්ණා සහගත, අසංවර පාපී සියලු වැඩ පිලිවෙල දමනය කිරීමයි.  අත් දැකීම්ද සහිත ඒ දමනය ඒසේම සිදු කල අරිහතුන් වහන්සේ අන්‍යයෝද ඒ උතුම් දමනයෙහි යෙදවීමට සුදුසු නියමුවෝ වෙති.  උන්වහන්සේලා ඒ ගුණයටද ඇතුළු වූ පිරිසට අයත් වෙයි.  අනුත්තර වූ උතුම් දමනයෙහි හසුරුවන බැවින් අනුත්තර පුරිස ධම්ම සාරථි නම් ගුණය තුළ සිටී.
05) ලෝකවිදූ ගුණය
එසේම උන්වහන්සේලා ලෝකය විනිවිද දකින, ලෝකයේ ඇති තතු දකින ගුණයට ඇතුළු වී ඇත.  ලෝකය පිළිබද දැකිය යුතු වූ අවශ්‍යම වූ විද්‍යාව චතුරාර්ය සත්‍යයෙන් පූර්ණ කර ගෙන ඇති බැවින් ලෝක විදු ගුණයටද ඇතුළත් වේ.
04) සුගත ගුණය
නිවන නම් වූ යහපතට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ගමන් කොට පිහිටිය යුතු නිර්වාණ ශාන්තියේ පිහිටා ඇති බැවින් සුගත නම් මහා ගුණයටද ඇතුළත්ය.
03) විජ්ජා චරණ සම්පන්න ගුණය
චතුරාර්ය සත්‍යය මනාසේ දකින විද්‍යාවත්. අසංවර පාප චේතනා සියල්ල දුරු වීමෙන් ලැබිය යුතු සංවරයත් උන්වහන්සේලාට ඇත.  මෙසේ විජ්ජා චරණ සම්පන්න ගුණයටද උන්වහන්සේලා ඇතුළත්ය.
02) සම්මා සම්බුද්ධ ගුණය
මෙහි පද බෙදා නිරුක්තිය මතු කල යුතුයි.  සං යනු අවිද්‍යා, තෘෂ්ණා හේතුවෙන් වූ එකතුවයි.  මා යනු මිදීමයි.  යනු භවයයි.  උද්ධ යනු උදුරා හැරීමයි.  අවිද්‍යා, තෘෂ්ණා එකතුවෙන් මිදී අවිද්‍යා, තෘෂ්ණා නිසා වන භවය උදුරා හළ උතුමෝ සම්ම සම්බුද්ධ ගුණයට අතුළු වූවෝ වෙති.
01) අරහං ගුණය
මීලගට ඇත්තේ අරහං ගුණයයි.  සසර ගමනේ අර සිද දැමූ හෙයින් අරිහතුන් වහන්සේ අරහං ගුණයට ඇතුළු වී ඇත.  
(පිටුව 80)
මෙසේ නව මහා ගුණ තුලට ඇතුලු වී සිටින උන්වහන්සේ සූවිසි මහා ගුණ ස්කන්ධයට ඇතුලත්ව ලෝක ශාන්තියද සිදු කර එම අන්තිම දේහ ධාරීව කෙළවර පිරිනිවන් පා සියලු දුකින් මිදෙන සේක.
මේ අනන්ත වූ සූවිසි මහා ගුණස්කන්ධයෙන් පරිපූර්ණ වූවෝ නම් ලොව්තුරා බුදු පියාණන් වහන්සේලාය.  ශ්‍රාවකයාණන් වහන්සේලා එම ගුණස්කන්ධයට ඇතුලත් වූහ.  මෙසේ සූවිසි ගුණස්කන්ධයන් තුලින් පසුතලය නිර්මාණය කර ගනිමින් යන ආර්ය මාර්ගය තුල ගුණයෙන් ගුණයට ඇතුලු වන ආකාරය පෙන්වූ තැන වැරදි වැටහීමක් ඇති නොවීමට මෙසේද තේරුම් ගත යුතුයි.  සූවිසි ගුණයට ක්‍රමයෙන් ඇතුලු වන මොහොතක් පාසාම අනුක්‍රමයෙන් ඉතිරි සියලු ගුණ පිලිබදවද සුලු දැනීම් මාත්‍ර පහළ වේ.  එකින් එක ගුණය පිලිබදව දැනීම, වැටහීම එක් කරුණකි.  අත් දැකීම ලැබීම, ගුණයට පිවිසීම සමග සිදුවන්නකි.  විදර්ශනා ඤාණයට ගෝචර වන මේ සියලු ගුණ වල යථාර්ථවත් වැටහීම ලැබෙන්නේ අනුබෝධ ඤාණ, අවබෝධ ඤාණ, ප්‍රත්‍යක්ෂ ඤාණ යන 3 අකාරයකට ක්‍රමානුකූලවයි.  අනුබෝධ ඤාන කීවේ අනුමාන වශයෙන් වන වැටහීමයි.  අවබෝධ ඤාණය ඊට වඩා පුළුල් ලෙස වැටහීමකි.   ප්‍රත්‍යක්ෂ ඤාණය අත්දැකීම් සහිත වැටහීමකි.  24 වැනි ගුණය පිලිබද ප්‍රත්‍යක්ෂ හෙවත් අත් දැකීම් සහිතව ප්‍රතිඵල සහිතව වැටහීමේදී ඉන් ඉතිරි ගුණ පිලිබදව අනුක්‍රමයෙන් අවබෝධ ඤාණයට ගෝචරව වැටහී ඇත.  ඊට සියුම් කොටස අනුබෝධ ඤාණයට ගෝචර කොටස් අවබෝධ ඤාණයට ගෝචර වේ.  අනුබෝධ ඤාණයට ගෝචර කොටස් අවබෝධ ඤාණයට ගෝචර වේ.  මෙසේ විදර්ශනා ප්‍රඥාව වැඩී අරිහත්වයට පත් වන විට සූවිසි ගුණස්කන්ධ පිලිබදව ශ්‍රාවක ගෝචර ඤාණයට යම් තරමක් ගෝචර වේද ඒ සියල්ල ප්‍රත්‍යක්ෂ  ඤාණයට ගෝචරව ඇත.  ඒ අරිහත් ඵලය සදහා අවශ්‍ය වන ගුණස්කන්ධයෝය.  ත්‍රිවිද්‍ය ලාභි, අභිඥා ලාභී, සිව් පිළිසිඹියා පත්, මහා ශ්‍රාවක, අග්‍ර ශ්‍රාවක ආදී විශේෂ ඤාණ ඇති අයට අනුක්‍රමයෙන් අවබෝධ, අනුබෝධ ඤාණ ගුණ වලට ගෝචර වේ.
සර්වාකාරයෙන් සම්පූර්ණව මේ මහා ගුණස්කන්ධය පිලිබදව දැනීම් පූර්ණ වන්නේ ලොව්තු‍රා බුද්ධ ගුණයටයි.  මේ සෑම ගුණස්කන්ධයක්ම අනන්ත බැවින්, අප්‍රමාණ බැවින් බුදු පියාණන් වහන්සේ නමක් අන් සියලු දේශනා අත් හැර මේ ගුණයක්ම විස්තර කළා නම් උන්වහන්සේගේ ආයු කාලය ගෙවී ගියත් ඒ ගුණය කෙලවරට දේශනා කර අවසන් කල නොහැකි බව දේශනා කර ඇත.

0 comments: