මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Jan 22, 2010

පිටුව 25 සහ 26

(පිටුව 25)
ග්‍රහයා එකකි.  ග්‍රහ මණ්ඩලය තවෙකකි.  යම් ග්‍රහයෙකුගෙන් විහිදෙන කිරණ මිනිස් ලොව වායු ගෝලයට සමීප වනවිට ඒ අනුරූප ‍ආලෝක මණ්ඩලයක් වායු ගෝලයේ මතුවේ.  හතලිස් නව යොදුන් සද මඩල, පණස් යොදුන් ඉර මඩල, ආදී ලෙස පෙන්වූවේද ග්‍රහ තාරකා නොව මේ ආලෝක මණ්ඩලයි.  අතැඹුලක් සේ ලෝකය දකින සෘෂිවරුන් ඉරහද නොදත් පිරිසක් නොවේ.  ඉර මඩල, සද මඩල, මනෝමය අතකින් එම සෘෂිවරුන්ට ස්පර්ෂ කල හැකි බව බුදු දහමේ සදහන් වේ.  නක්ෂත්‍ර දේවතාවන්ගේ වාස භවනය ඉහත කී වායු මණ්ඩලයේදී සකස් වන ආලෝක මණ්ඩලයි.  මහාසමය සූත්‍රයේදී බුදු රජාණන්වහන්සේ සහ මහා සංඝ රත්නය දකින්නට නක්ෂත්‍ර දේව‍තාවෝද පැමිණි බව සදහන්‍ වේ.
ලොව ඒ ඒ ගති ලක්ෂණ ග්‍රහණය කර පාලනය කල පින්වත් පිරිස් ‍ඒවායේ උපත ලබා අදද එබදු ලෝක පාලන කටයුතු කරනු ඇත.  ලෝක පාලක දේවතා කොටසකි ග්‍රහ දේවතාවන්.
කරුණු හරි හැටි තේරුම් ගෙන ඒ ග්‍රහ දේවතාවෝද සිහි කල යුතුය.  ලොවට සෙත සලසන දිව්‍ය බ්‍රහ්ම ආදී තැන් පටන් සෑම අයම සිහි කල යුතුයි.  
බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර යන ත්‍රිමූර්තියයි.  හට ගැනීම, පැවැත්ම, විනාශය මින් සදහන් කරයි.
මෙයින් ආරම්භක බ්‍රහ්ම ගති ලක්ෂණ ඇති පිරිස බ්‍රහ්ම නමින් උපත ලැබූ දේව පිරිසයි.  පැවැත්මේදී මධ්‍ය කාලයේ කාම ආශ්‍රිත ජීවිත ‍ගත කරන පිරිස පහල වේ.  මෙහිදී වැරදි කාම හැසිරීම් වල ආදීනව පෙන්වමින් දැහැමි කාම හැසිරීමේ කාම ස්වර්ග ගති ලක්ෂණ අනුව ජීවත් වෙමින් ඊ‍ට උපදෙස් දෙන පිරිස විෂ්ණු දේව පිරිස ලෙස උපත ලැබූ දේව පිරිසයි.  ලෝකයේ විනාශයට හේතුවන පවිටු ගති නාසා වන විපත ඊශ්වර කාලයයි.  මහ ඉසුරු ලබන්ට අසාධාරණ කිරීමෙන් වන විනාශය පෙන්වා දෙමින් දැහැමින් සාමයෙන් තේජස් වී ගති සහිතව අභිවෘද්ධි සහගතව ජීවත්වන්නට මග පෙන්වමින් පින් දහම් වල යෙදෙමින් සිට දෙවි බවට පත් පිරිස ඊශ්වර දෙවි පිරිසයි.  හේතුවට අනුව ඵලය ලැබෙන බව බුදු දහමේ මනාව පෙන්වා දී තිබේ.  මේ අනුව වටහා ගෙන බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර දේවතාවෝ ලොවට කල‍ සේවය සිතා ඒ පිරිස් එම පුණ්‍ය බලයෙන් අද ද දෙවි අත් බැව් ලබා ඇත.  ඒ ගම් බිම් බාර දේවතාවෝද සිහි කල යුතුය.  

(පිටුව 26)
නොයක් ඖෂධ වනෝධ්‍යාන සදා මිනිසාගේ යහපතට ඒවා පාලනය කර සෙත සැලසූ අය ඒ දේව ගතියෙන් අදද දේවත්වයේ උපදී.  ඒ වෘක්ෂ දේවතාවෝද සිහි කල යුතුයි.  
මෙසේ ලොව සෙත සලසා දුන් ගුණ සලකා අහස්ගත, භූමිගත දේවතාවෝද සිහි කර පින් පෙත් දිය යුතුය.  මෙසේ අනුක්‍රමයෙන් කලගුණ සිහි කර සෙත සලසන බොදුනුවන්ට ඒ දෙව් පිරිස්හි ආශිර්වාදයද ලැබෙනු ඇත.  බොදුනුවෝ ගුණ සලකා කලගුණ සිහි කර යහපත සලකන පිරිසක් බැවින් තමන්ට ආශිර්වාද කරයි කියන අදහසින් පින් පෙත් දෙන ජාතියේ පිරිසක් නොවේ.  ඒ නියම ගුණ දකින දේවතාවෝ ගුණවත් බොදුනුවන්ට නමස්කාර පූර්වකව ගරු කරන්නේ ඒ නිසාය.
දයානුකම්පිත වූ බොදුනුවන් කිසිම ලාභ, කීර්ති, ප්‍රශංසාවකින් තොරව අසරණ අයට පිහිට වේ.
යම ලොව, අසුර ලොව, නා ලොව සිටින සැමටත්, බාහිරව පිරිස් වලටත්, සතර අපාගත සැමටත් දයාවෙන්, කරුණාවෙන් දුගති මිදී සුගති ලැබ නිවන් දකිත්වායි පින් පෙත් දෙවමින් ආශිර්වාද කරත්.
එසේම යටින් අවීචියද උඩින් නේවසඤ්ඤානාසඤ්ඤායතනයයි කියන භවාග්‍රයද අතර මේ සක්වල සියලු සත්වයන්ටද මේ පින් පෙත් ලැබී සුඛිත මුදිත වේවා.  නිවන් සුව අත්වේවායි පින් පෙත් දෙවමින් ආසිරි පැතිය යුතුය.  කෙතෙක් අදමිටු කම් කළත් ඒ පිරිසටද කවදා හෝ සත්‍යය වැ‍ටහේවයි දයා, කරුණා ගුණයෙන් ලෝකාන්තරික ගත නියත මිසදිටු සත්වයන්ද සිහි කර පින් පෙත් ආශිර්වාද කල යුතුය.
මෙසේම අනන්තා පරිමාණ සක්වල සියලුම සත්වයන්ට දුගති දුරුවී සුගතිය, නිවන ලැබී සසර දුකින් මිදේවායි පින් පෙත් දෙවමින් ආශිර්වාද කල යුතුය.
ඒ ඒ පිරිස් වලට කෙතෙක් මේ ආශිර්වාද ලැබුනද, නොලැබුනද මෙබදු යහපත් සිත් ඇති බොදුනු පිරිසට ඒ චිත්ත ප්‍රසාදය අභිවෘද්ධියටම හේතු වේ. 

0 comments: