මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Sep 8, 2011

පිටුව 321 සිට 337

“සැගවුණු බොදු මග කල එලි දකී!“ කෘතිය  මෙතැකින් අවසන් වේ... වචනයක් හෝ වේවා නිර්වාණය පිණිසම උපකාර වේ නම් තමාට ප්‍රයෝජනවත් තමාට යහපත ගෙන දෙන ඒ වචනය පමණක් ගෙන තමා අකමැති තමාට ප්‍රයෝජනයක් නැතැයි සිතෙන අනෙකුත් සෑම වචනයක්ම ඉවත දමා විවේඡන අපවාද උපවාද කිරීමෙන් තොරව යහපත උදාකරගැනීමට බුද්ධිමත්ව කටයුතු කරගන්නට තිසරණ ආශිර්වාදය ලැබේවා!!!
නිවනින්ම සුවපත් වෙත්වා!!!

පිටුව 301 සිට 320

පිටුව 291 සිට 300

පිටුව 281 සිට 290

පිටුව 271 සිට 280

Jun 28, 2011

පිටුව 261 සිට 270

පිටුව 251 සිට 260

May 31, 2011

පිටුව 231 සිට 250

පිටුව 211 සිට 230

පිටුව 199 සිට 210

පිටුව 189 සිට 198

පිටුව 177 සිට 188

ඔබ වෙනුවෙන් අනෙකුත් ධර්ම ලිපි සූදානම් කරන බැවින් කාල වේලාව ඉතුරු කරගැනීම පිණිස මෙම බ්ලොග් අඩවිය මින් පසු පිටු 2ක බැගින් ලිවීම නවතා 177 සිට අවසාන පිටුව තෙක් ස්කෑන් කල පිටු අමුනා දමමි... දම් වරුසා බ්ලොග් අඩවියේදී මින් ඔබට පිටු කීපය බැගින් එක දිගටම කියවීමටත් කැමැත්තේ නම් බාගත කරගැනීමටත් මුද්‍රණය කරගැනීමේ පහසුවත් මින් පසු පලවෙන පිටු සදහා ලැබෙනු ඇත.  අපහසුවක් අතපසුවීමක් සිදුවී නම් සමාව ලැබෙත්වා!




පිටුව 175 සහ 176

(පිටුව 175)
මෙසේ දෙවැනි අවුරුද්ද මව්ගේ රාවය අනුව වැඩේ. ඒ වසරද දරුවා ලබන්නේ මව් දෙන ‍දහම් තුළින් හොඳ නරක දහම් තේරුම් ගැනීමය. ඒ දෙවෙනි වසර අවසානයේද හොඳ අතේ නව දහම් වැඩ පිළිවෙලත්, පහ කළ යුතු නරක කටයුතුත් ලබාගත් දරුවා දෙවැනි මුහුණුවරද සම්පූර්ණ කර ගෙන ඇත. මෙසේ හයවැනි අවුරුද්ද සපිරෙන විට නව අත්දැකීම ලබමින් බෞද්ධ මුහුණුවර හයකින්ද, හොඳ අතේ හය ආකර අත්දැකීමද, නරක අතේ පහ කළ යුතු හය ආකාර අත්දැකීම්ද දරුවා ලබා ඇත. මෙසේ හොඳ නරක තේරුම් ගත් බෞද්ධ මුහුණුවරක් ඇති දරුවා දැන් පිහිටා ඇත්තේ සීලයත් ප්‍රඥාවක් පාදක කරගෙන බැවින් දෙපයින් හිටගත් මුහුණු සයක් අත් දොළසක ස්කන්ධ කුමාර යැයි රූපයකින් පිළිබිඹු කර ඇත්තේ අපගේ බොදුනුවන්‍ දරුවෙක් සැදූ ආකරයේ සංකේතයයි.
දැන් දරුවා මව්ගේ රාවයේ වැඩුන කල අවසන්ය. එනම් මයුරා පිට සිටි කාලය අවසන්ය. මින් පසු පර ධර්ම හෙවත් බුදු දහමින් පිටස්තර වූ මුලා ධර්ම වලට නොවැටහෙන ලෙස ඒවායින් වෙන් කරන්ට පරවේනි හෙවත් පිරිවෙනට දරුවා භාර කරනු ඇත. ඝන හෙවත් සමගියෙන් සාමයෙන් ලොව බොදුනුවන් ලෙස ජීවත්වන්නට ඉගැන්වීමට පාපයට ලජ්ජා භය ඇති ගුණ පූර්ණ වූ හෙයනි ඝන දේව යැයි සම්මත විරුදාවලිය ලත් පන්සලේ ලොකු හාමුදරුවන් වෙත භාර කෙරේ. ඝන ඇසුරේ හික්මෙමින් බුදු දහම ඉගෙන ගනිමින් සිටින දරුවා ඝන ඇසුරු කරන අර්ථයෙන් ගණේෂ යැයි විරුදාවලිය ලබනු ඇත. වසර අටක් හෙවත් සොළොස් වයසට පත්වන තුරු අට වසරක් දරුවා ලොකු හාමුදුරුවන් යටතේ පිරිවෙනේ ඉගෙනුම ලබයි. උන්වහන්සේ සික්ඛා පද සමාදන කරවා මුහුකර ගත් සික්ඛාව තුල මින් පසු ජීවත් වෙන්ට අනුශාසනා කරති. මුහු කර ගත් සික්ඛාව තුළ ජීවත්වීමයි මූසික පිට සිටීමෙන් පෙන්වෙන්නේ මූසික කියන්නේ මීයටයි. මීයෙකු පිට සංකේතවත් කළේ ඉහත කී අර්ථය ඔප් නැංවීමටයි. මේ අට වසරම ලොකු හාමුදුරුවන් ඇසුරේ දහම් නුවණින් වැඩෙමින් ඉගෙනුම ලබන බැවින් ගණේෂ අට දෙනෙකු පෙන්වා ඇත. පළමු වසර තුළ කුමාර ගනේෂ, බාල ගණේෂ, බල ගණේෂ ආදී නම් වලින් මෙසේ පෙන්වා අන්තිම මහා ගණේෂ වී ලක්ෂ්මී ගණේෂ යන තරුණයා වශයෙන් පිරිවෙනින් සමුගනී. රාග, ද්වේශ, මෝහ ගිනි නැතිව ගත කළ මේ තරුණයාගේ ඇට මිදුළු, ධාතු ශක්තිය නිරෝගීය.


(පිටුව 176)

තරුණකම නිසි ලෙස පවතින බැවින් දැන් දාසය වසර වන විට ‍නිරෝගී ශක්තිමත් තරුණයෙකි. ලෝකයේ මිහිරියාව මුලාවෙන් ‍තොරව දැහැමින් ගත කරන්නට සුදුසු වයස නිසි පරිදි ලබා ඇති බැවින් විවාහයටද සුදුසුකම් ලබා ඇත. ලොකු හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙතෙක් ඉගෙන ගත් බුදු දහම ගුරු කරගෙන ලයෙහි රුවාගෙන , මින්මතු ජීවිතය හැඩ ගසාගෙන යහපත් බෞද්ධයෙක්ව ජීවත් වන්නයි නාහිමියන් දුන් කරුණාභරිත අවවාද අනුශසානා හිස් මුදුනින් පිළිගත් බොදුනු තරුණයා එතැන් පටන් ලයේ ගුරු කර ගත් දහම් මත ජීවත් වන බැවින් ගුරු කර ගත් ලය ඇති සංකේතය ඔප් නංවමින් ගුරුලා පිට සිටින විෂ්ණූ රුව පිළිබිඹු කර ඇත. කිරි සයුරක් වන් බොදු සංකල්ප දැන දිවි ගෙවන බොදු කුල කාන්තාවක් තම පුතුට සොයන දෙමව්පියන් කාම ආහාරය ක්ෂය කළ ගුණ ඇති වැඩිහිටි ශුද්ධවන්ත පිරිස හෙවත් කපු පිරිස මගින් කුල කාන්තාවන් සොයා ගෙන තම පුතුට ආවාහ කර දෙනු ලැබේ. මේ ආර්ය දේව සංකල්පය අර්ථ වැසී යාමෙන් පසු මෝහාදික බොහෝ පිරිසකට රඟ මඬලක් වී ඇති සැටි අද දක්නට ඇත. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් මහා ගුණ කඳන් ලෙස පෙර වැඩ සිටි සංඝරත්නය බොදුනුවන්ගේ මහත් ගරු සත්කාරයට ලක්වූ පූජා භූමි ලෙස පෙර කල පැවතියේය. සතර දෙසින් එන බොදුනු පිරිසට පූජනීය ස්ථාන කරා යන්ට මාර්ග 4ක් 4දෙසින් එකල තිබුනි. නොයෙක් හේතු නිසා පැවිදි වීමට නොහැකි වූ බොදුනුවෝ නිතර පූජනීය ස්ථානයේ ආවතේව කරමින් ඉතා දැහැමි ජීවිත ගත කළේය. මහත්වා ගති ඇති ශුද්ධ වන්තයින්ය යන ගෞරව නාමයෙන් ඒ අයට ඇමතුවේ කපු මහත්තයා කියාය. පාපයට ලජ්ජා බය සහිත දේව ගුණ ධර්ම රැකෙන තාක් කල් ශාසනය බබලන බව තේරුම් ගත් ඒ පිරිස වාසය කළේය. එබැවින් දේවාලය යැයි නම් තැබීය. සතර වාසල්කඩම මේ පිරිස වාසය කලේ සුචරිත සංවර ලෙස පූජා භූමියට ඇතුලත් ලෙස බොදුනු පිරිසට අවවාද අනුශාසනා කිරීමටය. ඒ 4 ආවාස ගෙවල් වලට 4 දේවාල යැයි නම් තැබීය. දිව්‍යමය බෞද්ධ ජීවිතයක් හැඩ ගසන හැටි පෙන්වන සංකේතය සේ ස්ථාන 4 සිත්තරුන්ගේ නිර්මාණ ලෙස පිළිබිඹු කරන ලදී.
 


 

පිටුව 173 සහ 174

(පිටුව 173)
දරුවාට ළදරුයැයි නොදැනේ යැයි නොසිතිය යුතුය. ශුද්ධ මිනිස් සිතකින් උපන් ඒ ළදරුවා දූෂ්‍ය වන්නේ ඉපදුණු පසු දෙන මුලා පරිසරය තුළිනි. මුලා සහගත සුන්දර ලෝකයකට ඇද දැමූ විටය අසහනකාරී ගැටුම් ළදරු සිතට ඇතුළු වන්නේ. දරුවාද සීත, උෂ්ණ දුරුවීමට, මැසි මදුරු බාධක දුරුවීමට පිරිසිදු රෙදිකඩක් පෙරවුමයි එකල සිදු කළේ. උන්නු - සුව - උම යන වචනය කැටිවී උණුසුම යන වචනය බිහි විය. උම්මා යන වචනයයි මෙහි උම කිව්වේ. මව් ගැබේ සුවයෙන් උන්නේ යම් සේද කයට ගැලපෙන සම සීත, උෂ්ණ ස්වභාවය “පෙර වූ උම” නම් විය. මව් ළඟ පෙර වූ ස්වභාවය (පෙරවුනේ) ලැබෙන නිසයි එදා සළු පටකින් කය වසා ලබා දුන්නේ, හැඩ වැඩ කර මෝහ පටලයක් දරුවාට පසු කල දුන් නිසා මව්ගෙන් ලැබූ සුවය අන්ධ වෙන්ට වූ බැවින් අන්ධ වූ උම ඇඳුම විය. අද දරුවාට දෙන්නේ පෙරවුම නොව ඇඳුමයි. මෝහ ස්ථර හෙවත් මෝස්තර දැමූ ඇඳුමයි. මෙතැන් පටන් නොදැනුවත්කම නිසා ලෝභ මෝහ දරුවාට පහළ කරන පරිසරය මෙකල ගොඩ නගන්නට පටන් ගනී. ලාමක වූ සෙළු බඩු මීළඟට දෙන්ට පටන් ගනී. ඒවාය සෙල්ලම් බඩු, පිරිසිදු නැවුම් රෙදි කඩට කහටක් වැටුනොත් කා වැදී අල්ලා අල්ලා ගන්නා සේ ළදරුවාට දෙන මේ ලෝභ මෝහ කිළුවට ඇද දමයි. දරුවාට ඇති ආදරය ලෙස මුලාව නැගී ආදරයට දෙන්නේද මුලා කරන දේවල්මයි. මෙයත් දරුවා හදාගන්ට නොදත් අවිද්‍යාවකි. මුලා මනසින් ගොඩ නගා ගත් ලෝභ මෝහ ජීවිත ගත කරන පිරිසට මේ අදහස් පිස්සුවක් ලෙස හිතෙන්නට පුළුවන. නමුත් මේ හේතු සාධක දක්වමින් පෙන්වන්නේ අපේ ආදී බොදුනුවන් ශිෂ්ඨ සමාජයක් ඉතා පහසුවෙන් ගොඩ නගා ගත් දහම් ක්‍රමයයි. එකල මව්වරුන්ගේ ප්‍රධාන කාර්ය භාරය වූයේ බුදු දහම තුළින් ජය ලබාගත් සමාජයක් ලෙස මතු පරපුර බිහි කර ගැනීමයි. එසේ කළ මවටයි ජගත් මාතා යන විරුදාවලී නාමය හිමි වන්නේ. දරුවා ලැබුන විටම මව්පියන් කළේ පින්වත් කුමර, කුමරිය, ඔබ බුදු සසුනට බාරයි කියා ආසිරි පැතීමයි. කුමරෙක් නම් භික්ෂූන්වහන්‍සේලාගේ පාමුල තබා සසුනට පැවරීය. කුමරියක් නම් මෙහෙණින්වහන්සේලාගේ පාමුල තබා සසුනට පැවරීය. දැන් ඒ දෙපලටම මගේ පුතෙක්, මගේ දුවෙක් නැත. තවත් හදා වඩා ‍පෝෂණය කරන්නේ මතු සසුන් කෙත බබලවන්ට සිටින කුමරෙකි. කුමරියකි.

(පිටුව 174)

ශාසන වස්තුවක් කළ දරුවා කිසි විටෙකත් ලෝභ, ද්වේශ, මෝහ සහගත වන්ට නොදී අලෝභී, අද්වේෂී, අමෝහී පිවිතුරු සිතින් හදා වඩා ගැනීම මව්පියන් විසින් කරන ලදී. දරුවාගේ මවගේ මව සහ නැන්දා යන දෙපලට මව් බිසව කියා එකල ඇමතීය. කාමාශ්‍රව භග කල හෙවත් බිඳ දැමූ යන අරුතිනි ඒ අයට බිසව කීවේ. මුදු ගුණ ඇති ආශ්‍රව බිඳ හැරිය තැනැත්තීය යන අරුතින් මව් බිසව කියා ඒ අයට ඇමතීය. ඒ වැඩිහිටි කාන්තාවෝද දරුවාට කිසි විටෙකත් මෝහ ස්ථර හෙවත් මෝස්තර වැඩ කළේ නැත.
මවගේ වටිනාකම කාර්ය භාරය වූයේ පාපයට ලජ්ජා භය ඇති දේව ධර්මයෙන් යුතුව අලෝභ, අද්වේශ, අමෝහ දරු පරපුරක් බිහි කිරීමය. ඒ වටිනාකම නිසා සසුන්කෙත මතු බබලන බව දත් මව්වරු කිසි විටෙකත් දරුවා තනි කර හෝ අනුන්ට භාරදී රැකියාවලට ගියේ නැත. ස්වාමි පුරුෂයා‍ විසින් එසේ යැව්වේද නැත. මුල පටන් දරුවා කුමාරයෙක් ලෙස, කුමාරියක් ලෙස ඇති දැඩි කළේය. කු යනු පහත් නින්දිත යන අරුත දෙයි. මාර ‍යනු පංච කාමයෝය. ‍
පාපයෝය, නීවරණයෝය. මේවා මුල පටන්ම පහත් නින්දිත දේ හැටියට දරුවාට ඒත්තු ගන්වමින් ඒවායේ පහත් බව නින්දිත බව කරුණු සහිතව දරුවාට කියා දෙමින් දෙමව්පියෝ කටයුතු කළෝය. අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ප්‍රියමනාප රූප පසුපස ගියොත් අල්ලන්ට වෙන්නේ පාප වින්දනයක් හෙවත් පාප වේදනාවකි. හිතේ ලැ‍ග ගන්නේ පාප සංඥාය. නැගෙන්නේ පාප සංඛාරය. පිහිටන්නේ පාප විඤ්ඤාණයෝය. මේ අවිද්‍යාවෙන් පහළ වන ස්කන්ධ පස ගැන නිතර දරුවාට කරුණු කියා දෙන විට මුලාවට නොපත් පිරිසිදු සිත් ඇති දරුවා කුඩා කලම දහම් මුහුකුරා යන දැනීම ලබනු ඇත. මාර පාක්ෂික ස්නක්ධ පහත් කර නින්දිත දේ ලෙස කියාදෙන විට දරුවාද ස්කන්ධ - කු - මාර යන දේව ගති ඇති වන විට සම්මත ස්කන්ධ කුමාර දෙවියෙක් වනු ඇත. මෙසේ මේ නම ලැබී නම් දරුවා බෞද්ධය. දරුවා හදා වඩා ගැනීම මව්ගේ ආකාරයටම බැවින් ඒ මත ස්කන්ධය කුමාරයෙක් පිළිබිඹු කර ඇත. ස්කන්ධ කුමරා ලෙස මයුර පිට කුඩා හුරුබුහුටි දරු රුවක් පිළිබිඹු කර ඇත්තේද මේ නිසාය. පංචස්කන්ධයෝ දුක්ඛස්කන්ධයෝ යැයි දකින දරුවා මවගෙන් බණ පද අසමින් දහම තුළ වැඩෙන විට හොඳ දේ දැනගනී. නරක දේ දැනගනී, ආගන්තුක දහම් නුවණින් වැඩෙන පළමු වසරේම දරුවාට හොඳ අතක සහ නරක අතක වැඩ වැටහී ඇත. පළමු බෞද්ධ මුහුණුවර පහළ වී ඇත. 
 

පිටුව 171 සහ 172

(පිටුව 171)
හටගත් සියල්ල විපරිණාමීව වැනසෙන බව දහම අනුව නුවණින් වටහා ගෙන සිටින මේ දේපල ලොව කිසිවක් ලෝභයෙන් අල්ලාගෙන නැත. ලොව කිසිවෙකට ද්වේශයෙන් ගැටෙන්නේ නැත. ලොව ආස්වාද මායාවන්ට මෝහයෙන් මුලා වන්නේ නැත. බුදු සසුන මතු කලක බබලවන කල්‍යාණ මිත්‍රයෝ අප වෙමුයි සිතා නිවනම අග්‍ර කර කටයුතු කරන මේ බොදුනුවන් අකම්ප්‍යය. බුදු දහමෙන් පිට ජීවන රටාවක් ඒ පින්වතුන්ට නැත. දරු පෙමට කෑදරව දරුවන් බලාපොරොත්ත නොවේ. මෙබඳු නිවන් ශාන්තිය දෙන බුදු දහමේ තවත් ලෝක සත්වයෙකුට වැළඳ ගන්ට ලැබෙනවා නම් අනන්ත සසරේ නොලත් මහා වාසනාවකියි කරුණා මෛත්‍රියෙන් දරු පරපුරක් බලාරොත්තු විය. මහ රහතන් වහන්සේලා හේතුඵල ධර්මතාවය අනුව ගුණවත් සසර කළ පින් කුසල් ඇති අය උපදින්නට සුදුස පරිසරය දහම වනසා ලාභ සත්කාර වලට ගිජුවූ පර පුටුවන්ගේ සසුන් වැදීම හේතු කොට ගෙන ඒවා විනාශ වී ගොස් ඇත. ලාභා කීර්ති ප්‍රශංසා ලැබීමට ඕනෑම ජඩ වැඩක් කරන්ට පසුබට නොවූ ඔවුන් වටිනා සාර ධර්ම අතුගා දමා සුන්දර කාම භෝගී වැඩ පිළිවෙලවල් ධර්ම මාර්ගය ලෙස ඔප් නැංවීය. ධ්‍යානලාභී මාර්ගඵල ලාබී උතුම් බොදුනු පිරිස ක්‍රමයෙන් අතුරුදහන් වූහ. ලාභයට ගිජුවූ දේවදත්ත අනුගාමික භික්ෂූන් සමග මිනිසුන්ගේ ලෞකික වැඩවලට උදව් කරමින් ආසිරි පතමින් ගෙයක් ගෙයක් පාසා ගිය කලක ඒ ගමේ මිනිසුන්ගේ සිත් ඇදී ගියේ දෙව්දත් ඇතුළු අනුගාමික ශ්‍රමන වෙස් ගෙන සිටින පිරිසගේ කටයුතු වෙතටය. සැරියුත් හිමියන් ඒ ගම මැදින් වැඩී දිනක උන්වහන්සේගේ සංවර චර්යා රටාව ඒ මිනිසුන් දැක්කේ විකෘති වැඩ පිළිවෙලක් ලෙසිනි. පිණ්ඩපාතයට බත් හැන්දක් වත් කිසි කෙනෙකු ගෙන් නොලැබුනි. දෙව්දත් තෙරුන් වර්ණනා කරමින් සැරියුත් හිමියන්ට අපහාස කළ බව ධර්මයේ සඳහන් වේ. ලෝක සම්පත් වලට ආශා පොදි බැඳගෙන ඒවා ගොඩ ගසා ගන්ට ඕනෑම දුසිරිතක් කරන්ට ලැහැස්ති වී සිටින මුලා ජනයා ඒ සම්පත් ලැබෙන මගක් යැයි පෙන්වන ඕනෑම යාච්ඥාවකට මුලා වැඩ පිළිවෙලකට ප්‍රශංසා කිරීම කරනු ඇත. ඒවා මහ ඉහළින් පිළිගනු ඇත. එබඳු ලෝකයාට බුදු දහමේ හරය නිසරු ලෙස පෙනීම පුදුමයක්ද නොවේ. බුදු දහමේ හරය යම් දිනක නුවණින් ‍දුටු විටයි යථාර්ථය වැටහෙන්නේ.

(පිටුව 172)

ලොවට බැඳී කාම වස්තු පොදි ගැසීම දුක් පොදි ගැසීමක් මිස සාරවත් නොවේ යැයි නැණවත් බොදුනුවන්ට වැටහෙන බැවින් ගේ ‍දොර, ඉඩ කඩම්, භාණ්ඩ, මිල මුදල්, අඹු දරු ආදී මේ සියල්ල පෝෂණය කළේ හැදුවේ වැඩුවේ ආර්ය මාර්ගයට රුකුල් දෙන ලෙස කටයුතු කර ගන්ට ඒ සඳහා ඇති ප්‍රයෝජන සලසා ගෙනය. නව යුවළ දරු සම්පත් බලාපොරොත්තු වුනේ සසර ගමනේ යන තවත් පින්වතෙකුට ශාසනය පාදා දීමේ පරමාර්ථය ප්‍රධාන කර ගෙනය. ශාසනයේ සංඝ රත්නයේ ආශිර්වාදය, නැදිමයිලන්ගේ ආශිර්වාදය, වැඩිහිටි ආශිර්වාදය යහපතට හේතු වන බව බුදු දහම තුලින් දැන හදාරා සිටින එම දෙපල ගිතෙල් මුසු කිරිබත්, කැවුම්, කෙසෙල් ආදී කැවිලි පළතුරු ආදියෙන් අග්‍ර භෝජනය තෙරුවන් උදෙසා පුදා දරු සම්පත්තියකට ආශිර්වාද ගනු ඇත. මව්පිය, නැදිමයිලන්ට, වැඩිහිටියන්ට සංග්‍රහ කර ආශිර්වාද ලබනු ඇත. තමා ඇසුරු කරන පිරිස් වලට දැසි දසුනටද සංග්‍රහ කර පින්වත් දරු උපතක් ලැබේවායි අදිටන් කරනු ඇත. මෙසේ අඹුසැමි ලෙස එක්වන ඒ දෙපලට, යහපත් ප්‍රතිඵලම ලැබෙන හේතුඵල ධර්මය අනුව සසර සැරි සරන පින් කුසල් ගුණ පිරුණ කෙනෙකු උපතට ඇදී එනු ඇත. එතැන් පටන් ගැබ හොත් දරුවා සිහි කරමින් සුචරිත යහපත් පින් දහම් කර දරුවාටද සෙත් පතනු ඇත. සෙත් පිරිත් පැන් පානය කරමින් දරුවාට සෙත්පතා ගැබ පිටින් පැන් ආලේප කරමින් මව ධාර්මික ජීවිතයක් ගත කරයි. පින්වත් කුමරෙක් හෝ කුමරියක් පිළිසිඳ ගත් තැන් පටන් ඒ පිරිසටම උදාවෙන්නේ පින් ඵලයකි. යහපතකි. දරුවා නිසා කිසිම වෙහෙසක් මව්ට නොදැනේ. චිත්ත ප්‍රසාදයෙන් ගැබ තුළ වැඩෙන දරුවා මනා අඟ පසඟින් යුක්තව වැඩී සැනසිල්ලේ මෙලොව එලිය දකී. දරුවා ලොවට බිහිවන්නේ වැඩිහිටි කාන්තාවන්ගේ සෙත් පිරිත් සජඣායනා හඞ මධ්‍යයේය. ඒ දරුවාට කිරි හිඟ වන්නේද නැත. මව් දරුවාට කිරි දෙන්නේ සූවිසි තුණුරුවන් ගුණ කියමිනි. දරුව‍ාගේ හිස අතගාමීන් සෙත් පතමිනි. ඒ බොන කිරීම දරුවාට දිරවන පෝෂ්‍යදායී ආහාරයක් සේම ඖෂධයක්ද වනු ඇත. දරුවා නලවන්නේද තෙරුවන් ගුණ ගාථා ලයාන්විත ගයමිනි. මෙසේ සදන දරුවාගේ සිත මුලා කරන මායා ලෝකයේ කිසිම සෙල්ලම් බඩුවක් නොදෙනු ඇත. ඒවාදීමට අවශ්‍යතාවයක්ද දරුවාට නොවේ.

May 18, 2011

The new web site "Nirvana Dhamma" - අලුත්ම ධර්ම වෙබ් අඩවිය “නිර්වාණ ධර්ම“



  

There are millions of people around the world… A true human being among the crowd is always helping others and to his / her owns self… As a true human being it’s my responsibility to give the best I can share with all of you without considering what your religion, race or status is!

If you think that you should change your religion, race or status to gain the betterment for you then that is where you are mistaken… to realize the eternal reality of this world you only have to think openly… It doesn’t matter and it’s doesn’t affect with your religion, race or status … The ultimate truth is for everyone… the standard rules and regulations which created by the societies are not become a barrier to realize the ultimate truth… and I believe for those who can understand this little important fact is a person who can call as a true human being!

It’s your responsibility to revise each fact wisely and understand them with your level of intelligence and gain the maximum benefit out of this “Nirvana dhamma” web site. “Nirvana” is not a private property or not something which is only for a specific team or race… It’s an ultimate reality which is possible to achieve and possible to realize the eternal bliss… That’s why greatest Samma Sambuddha said “My Dhamma is for the wise ones and not for the foolish ones”! And the wise ones’ religion or race or status or other standards are not a barrier to achieve the “Nirvana – the true happiness”… and that’s again a wise one will understand! So for all the wise ones who spread around the world are welcome to recognize the pure dhamma to achieve pure happiness and may this little effort of mine become a greatest support for all the wise ones to achieve the best! Accept this small but great Gift from mine and it’s all yours now to take the support and bring the betterment for your life!

May your god, your teacher, your religious leader or whoever the highest person you respect in your life give the highest blessings to you, for the best while triple gem bless you to achieve the best!

“Your dhamma magazine… from relativism to absolutism…”

ලෝකයේ මිනිසුන් බොහෝමයක් සිටිනවා... ඒ අතරින් සැබෑ මිනිසා නුවණැතිව තමන්ටත් අනුන්ටත් වඩාත් යහපතක් කරගන්නට පෙළඹෙනවා... ආගම් ජාති කුල මල භේදයක් නැතිව ඇසුරු කොට තම තමන්ට යහපත උදාකරගැනීමට හැකි යමක් ඒ සෑබ මිනිසුන් වෙනුවෙන් පිදීමට හැකි නම් සැබෑ මිනිසෙකු වශයෙන් මට කල හැකි ඉහලම යුතුකමයි!


යහපත ඉටු කරගැනීමට ආගම ජාතිය කුලය වෙනස් කල යුතු යැයි ඔබ සිතනවා නම් වැරදී ඇත්තේ එලෙසින් සිතන ඔබටමය... ලෝකයේ යථාර්ථය දැනගන්නනට නම් විවෘතව සිතා බැලිය යුතුය... සම්මතයේ ආගම ලෙසින් ලබාගෙන ඇති තත්වය, නාමය එයට අදාල වන්නේ නැත... පරම සත්‍ය නම් සියලු සතටම පොදු දෙයකි... එය වටහාගන්නට සම්මතය බලනොපානු ඇත... මේ පුංචි කරුණ වටහාගන්නට තරම් නුවණක් සැබෑ මිනිසුන්ට නම් තිබෙනු ඇත.

ඉතින් ඔබ වෙනුවෙන්ම පිදෙන “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවිය විවෘත මනසකින් යුතුව ඇසුරු කොට සෑම කරුණක්ම නුවණින් විමසා තෝරා බේරාගැනීමට උත්සාහ දැරීම ඔබේ යුතුකමකි. “නිර්වාණය“ යනු බෞද්ධ යැයි සම්මත කරගත් පිරිසකට පමණක් අත්දැකිය හැකි පෞද්ගලික දේපලක් නොවේ... එය නුවණැත්තන්ට අත්දැකිය හැකි අත්දැක සැනසිය හැකි යථාර්ථයකි... එනිසාම සම්මා සම්බුදු පියාණන්වහන්සේලා විසින් “මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ට මිස අනුවණයන්ට නොවේ“ ලෙසින් පෙන්වා දුන් සේක...! ප්‍රඥාවන්තයාගේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක්දැයි යන්න නිවී සැනසීම පිණිස සැබෑ සතුට අත්දැකීම පිණිස බාධාවක් නොවන්නේමය. එයත් දැනගන්නේ ප්‍රඥාවන්තයෙකුම පමණි! ඉතින් ලොව පුරා විසිරී පැතිරී සිටින ප්‍රඥාවන්තයින් වෙනුවෙන් තම තම නැණ පමණින් විමසා තෝරා බේරාගෙන කරුණු කාරණා වටහාගන්නට උපනිශ්‍රයක්ම ගෙන දෙන “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවිය සතුටු සිතැතිව භාරගෙන ඇසුරු කර නිසි ඵල නෙලාගැනීමට මෙතැන් පටන් සැබෑ මිනිසුන්ට භාරකරමි!

ඔබේ දහමට අනුව ඔබේ විශ්වාසයට අනුව ඔබ පිලිගන්නා ශාස්තෘන්වහන්සේ විසින් ඔබට හොදම දේ ලබනු පිණිස යම් ආශිර්වාදයක් කරන්නේ නම් ඒ ආශිර්වාදයටම එක්ව තිසරණ සරණේ උතුම් ආශිර්වාදය තුලින් ඒ යහපත ලබා ගැනීමට ප්‍රායෝගිකව නුවණ මෙහෙයවා කටයුතු කරගැනීමට ප්‍රඥාවන්ත පින්වත් ඔබ සැමට හැකිවේවා! 
“සාපේක්ෂත්වයෙන් මිදී නිරපේක්ෂත්වය කරා යෑමට උපනිශ්‍රයක් ගෙනෙන ඔබේ ධාර්මික සගරාව...“

Apr 27, 2011

පිටුව 169 සහ 170

(පිටුව 169)
බොදුනු පවුලක් ගොඩනැගූ දිව්‍යමය සංකල්පය
ඉහත කී පිරිස් රජ මණ්ඩලයයි. එකළ ප්‍රාණඝාතය, සත්ව හිංසාව රජයෙන් තරයේ හෙලා දැක ඇත. හොර මැර වංචා දඬුවම් ලැබෙන නීච වැ‍ඩ ලෙස සැලකීය. ඒවාට කිසිම අනුබලයක් නැත. මත්පැන් හල් තහනම්ය. සූදුව, මුදල් ගසාකන ව්‍යාපාර කිසිවක් රජයෙන් නැත. දුරාචාර, අපචාර වලට කිසිම අනුබලයක්ද නැත. බොරුවෙන් රැවටීම නින්දා අපවාද දෙවන නීච වැඩකි. කේළමෙන් බිඳවීම නීච ලෙස හෙළා දැක ඇත. පරුෂ බවින් කරන වැඩ කටයුතු වලට ඉඩ නැත. ‍ප්‍රලාප වැඩ කිසිම තැනක නැගෙන්ට නොදේ.  කුල කුමරියන් ලෙස එකල හැඳින්වූ‍ තරුණියන්ට කෙල්ලන්ගේ වැඩ හෙවත් කෙලි වැඩ නැත. කෙල්ල යනු දාසියට කියන නමකි. පහත් තැනැත්තියක් බවට පත් කරන බාල වැඩ කෙලි වැඩ නමින් හැඳින්වින. සෙල්ලම් කරන්නේ බාලයෝය. වයසින් මුහුකුරා ගියත් සෙල්ලම් බාල වැඩ ලෙස නීච ලෙස පිළිගැනුණි. මෝහ ස්ථර හෙවත් මෝහ පටල වලට ‍මෝස්තර කියා නිගරු කලේය. සැළුන ‍ ලය යනු පහත් සිත්ය. ඒවාට ආලය කලේ සල්ලාලයාය. සල්ලාල කමට එදා ඉතා පහත් තැනක් සමාජයේ හිමි විය. එබඳු වැඩට ඉඩ තැබුවේ නැත. එදා සිටි බොදුනු සමාජය තුල භික්ෂූන් වහන්සේ ප්‍රතිපත්ති ගරුක විය. සමගියෙන් සමාදානයෙන් එකතුව ධාර්මික ජීවිතයක්, හරවත් ජිවිතයක් ගත කරන්නට දහම් අධ්‍යාපනය දුන්නේ ස්වාමීන් වහන්සේය. උන්වහන්ට සමාජය සැලකූවේ දෙවත්වයෙනි. ඝනයක් හෙවත් සමගි පිරිසක් ලෙස සමාජය චරිතවත් ‍හැඩ ගස්වන උන්වහන්සේලාට ඝන දේවයෝ යැයි නම් කෙරුණි. දේව ගුණ ධර්ම තුළ ජීවත් වූ එකල මනුෂ්‍යයෝ සම්මත දෙවිවරු, දේවිවරු ලෙස විරුදාවලි ලැබූ පිරිසකි. ස්වාමී පුරුෂයාට කතා කලේ දෙවියෝ කියාය. ස්වාමිපුරුෂයා භාර්යාවට කථා කලේ දේවිය කියාය. දැරියට කුමරිය කියාත්, දරුවා කුමාර කියාත් ඇමතීය. පව් වැඩ නැති නිවසට ශ්‍රියාව, කාන්තිමත් ආලෝකය දෙන සුචරිතවත් තැනැත්තියට ශ්‍රියා කාන්තා දේවිය යැයි ඇමතීය. විසම නොවූ සංකල්ප ඇති ස්වාමි පුරුෂයා විෂ්ණු දෙව් නමින් හැදින්විය. විවාහයෙන් පසු වෙන්ව ගෙයක පදිංචි වූයේ දෙමව්පියන්ගේ මුහුණ බලන්ට විවාහක නව අඹු සැමි යුවලට ලජ්ජා කරුණක් වූ බැවිනි. වෙන් වුවත් සමගිදාමයෙන් මව්පිය සොයුරු සොයුරියයන්ගේ හා හුයකින් බැඳුන ලෙස කටයුතු කළ ඔහු වෙන් හූ දෙවි නමින්ද සම්මත විය. මේ අඹු සැමි දෙදෙනා සුචරිතවත් බොදුනුවන් වූහ. පිරිමියා ඉගෙනීම ලැබුවේ පරගැති පර අදහස් වලින් වෙන්වූ බොදුනු පිලිවෙත කියා දෙන පරවේනි හෙවත් පි‍රිවෙන තුලය.

(පිටුව 170)

ගුරු පියාණෝ නායක තෙරුන් වහන්සේය. ඉගැන්නුවේ බුදු දහම අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීමය. ඝනයා යනු අද අපහාස නමක් වුවත් එකළ ගෞරව නාමය හා සම්බන්ධ විය. ඝන දේව හෙවත් ස්වාමීන් වහන්සේ ආශ්‍රයේ ඉගෙන ගත් කාලය ගණේෂ නමින් හැඳින්වීය. වසර අටක් ඉගෙනුම ලැබූ නිසා වසරින් වසර ලැබූ දැනුම අෂ්ඨ ගනේෂ නමින් පුද්ගල නාමිකව හැඳින්විය. පිරිමි පුළුටක පහසට හසු නොවන සේ ලජ්ජා බිය ඇතිව සුචරිතව මව් ලඟ හැදුන වැඩුන දියණියට අත්කම් භාණ්ඩ නිපදවීම, ඉවුම් පිහුම්, රසකැවිලි සෑදීම ආදි අවශ්‍ය සියලු කරුණු මෙන්ම කීකරු ගුණ යහපත් කාන්තාවක් ලෙස කුල පවුලකට ඇතුළත් කරන්ට හැඩ ගැසුනි. කුල සිරිත් පරිදි අවාහ විවාහ කටයුතු සිදු කළ පසු ඒ දෙපොල උතුම් බොදුනු පවුලක් ලෙස ‍ජීවිතය ආරම්භ කළේය. පාප දුෂ්චරිත පිටු දැක ධාර්මිකව ජීවත් වන ස්වාමි පුරුෂයාගේ ලයෙහි තිබෙන්නේ පන්සලේ ස්වාමීන් වහන්සේගෙන් ඉගෙන ගත් බෞද්ධ චර්යා පද්ධතියයි. පර දහම් වලට ගැති නොවී බුදු දහම ගුරු කරගත් ලයක් ඇතිව දහමට අනුව විශ්වය දකින නුවණ ඇති හෙයින්ද, විස නොවන ගති ඇති හෙයින්ද, නිතර නුවණින් යුතුව වෙසෙන හෙයින්ද විෂ්ණු නම් සම්මතයට හිමි දේව ගති ඇතිව ඒ ස්වාමි පුරුෂයා ලය නිවුන හෙයින් නීල වර්ණයෙන් සංකේතවත් කර ගුරුලා පිට සිටින නීල වර්ණ රුවකින් පිළිබිඹු කරන ලදී.  
උම නම් වූ මාතෘ ගුණ නෙලා ගෙන සිටින ශ්‍රියාවෙන් කානතිමත් වූ භාර්යාව නෙලුමක් පිට සිටින ශ්‍රියා කාන්තා නම් ස්ත්‍රී රුවකින් පිළිබිඹු කරන ලදී.
 
මේ බෞද්ධ කලාකරුවන් ස්වාමි පුරුෂයා හා භාර්යාව යන දෙදෙනොගේ දේව ගති ලක්ෂණ මනසින් දුටු ආකාරයයි. හතර අතක වැඩ කටයුතු ක්‍රියාවට නගන විෂ්ණු ශුද්ධ හඬ නගන බැවින් එක අතක හක් ගෙඩියක්ද ලෝභ, දේවේශ, මෝහ යන මේවා උල් කටයුතු කරන බැවින් එක අතක ත්‍රිශූලයකින්ද, මාතෘ ගුණයම නෙලා ගන්නා ගති ඇති බැවින් අතක නෙළුමකින්ද, පාපය දුටු තැන වහා වනසා යුක්තිය ධර්මය නගා සිටුවන්ට කටයුතු කරන බැවින් අතක පාරු වළල්ලකින්ද නීල වර්ණ රුව සංකේතවත් කරන ලදී.  භාර්යාවද උම දහම් හෙවත් මාතෘ ධර්මය නෙලා ගන්නා බැවින් එක අතක නෙළුමකින්ද, අභ්‍යන්තර ස්වර්ණමය බවින් හද පත්ලෙන් කරන ස්වර්ණයම කටයුතු ඇති බැවින් රන් පිරවූ කලයකින්ද, කරන කටයුතු ස්වර්ණමය බැවින් අත්ලෙන් ගලන රන් දහරාවකින්, නිතර මාතෘ ගුණ ලොවට පතුරවන බැවින් මෙන්ම ස්වර්ණමය අදහස් දරන බැවින් අතක නෙළුමකින්ද සංකෙත්වත් කරන ලදී.

පිටුව 167 සහ 168

(පිටුව 167)
ඒකාධිපති පාල‍නයේ නියම අර්ථය
ඒකාධිපති යන්නෙහි නියම තේරුම එකම ධර්මය අදිපතීත්වයේ තබාගෙන කරන පාලනයයි. එනම් දස රාජ ධර්මයයි. පංච දුෂ්චරිතයට අයිති කිසිම කටයුත්තකට රජය අනුබල දී නැත. පෙර කල සාමයෙන් බැබලු දැහැමි පාලන ක්‍රමයක් එකතරා සමවත් දර්ශනයකට නැගුණ අයුරු මෙහි පෙන්වන්නේ කවදා හෝ ධාර්මික පාලන පිරිසකට මෙය වැදගත් වේ යැයි සිතුන බැවිනි. මෙය රාෂ්ඨ පාලන ක්‍රමය නමින් එකල හැදින්වුණි. එකල මෙම ලක්දිව ජනගහනය කෝටි පහක් විය. දළ වශයෙන් ගෙවල්‍ කෝටියකි. ගෙවල් දහයක කටයුතු බලාගෙන්ට පතිරාජ (පත්තුවල රජ) කෙනෙක් පත් කෙරිණි. උදේ, දවල් හවස වශයෙන් තෙවතාවක් පතිරාජ විසින් ගෙවල් දහයේ සිටින අය සටහන් කර ගත යුතුයි. උදේ රැකියා ආදියට ගිය පිරිස, ගිය තැන්, නිවසේ සිටින අය, නිවසේ ඇති බඩු මුට්ටු, වත්කම මේවා පරීක්ෂා කොට සටහන් කළ යුතුය. එක ගෙයක උපයන ආදායම ගණන් බලා එයින් 10%ක් පතිරාජට ගෙවිය යුතුයි. කුඩා වුවත් රජකුගේ බලතල ඔහු සතුය. ඒ ඔහුගේ පත්තුවටය. නැතිනම් ගෙවල් දහයටය. මෙබඳු පත්තු රජවරු දහ දෙනෙක් පිළිබඳව එසේම සොයා බලා සටහන් කිරීමට ගමට රජ කෙනෙකි. එදා ඔහුට ගමරාළ කියා හඳුන්වයි. මේ දහ දෙනා ගෙවල් සියයක් මෙසේ බලාගනී. ගමරාළ එම දහ දෙනා බලාගනී. මේ සියලු පිරිස සිටින ගම වැට බැඳ කොටු කර ඇත. ගමට පිවිසෙන්ට ගම් දොරටුවක් ඇත. වැට අස්සෙන් යාම් ඊම් කළොත් දඬුවම් ලැබෙන වරදකි. ගමරාළ සිටින්නේ ගම් දොර අසල නිවසකය. ගමට ඇතුළු වන, ගමෙන් පිටවන අය සටහන් තබා යා යුතුයි. මෙසේ ගමරාළලා ලක්ෂයක් ලක්බිමට ඇත. ගමරාළලාට ලැබෙන ආදායමෙන් 20%ක් රටේ රාළට දිය යුතුය. ගමරාළලා දහ දෙනෙක් පිළිබඳ වත්කම් සහිත සියල්ල දිනපතා තෙවතාවක් රටේ රාළ කෙනෙක් සොයා බලනු ඇත. ගමරාළලා දහදෙනෙකු පිළිබඳ වත්කම් සහිත සියල්ල දිනපතා තෙවතාවක් රටේ රාළ කෙනෙක් සොයා බලනු ඇත. ගමරාළලා දහ දෙනෙකුගේ නිවෙස් පිළිබඳ වත්කම්, බඩු මුට්ටු ආදිය පරික්ෂා කර සටහන් කරන්නට ලක්දිවටම රටේ රාළලා දහ දාහක් සිටිති. ගමරාළට රේස් කරත්ත හෙවත් ගොන් බැඳි කරත්ත ගමනට නිල රථ ලෙස තිබුන අතර රටේ රාළට සිටියේ කොටළුවෙකි. මේ රටේ රාළලා දහ දෙනෙකුගේ වත්කම්, නිවසේ බඩු මුට්ටු ආදිය පරික්ෂා කළේ දිසා රාළයි. ලක්දිවට දිසා රාළලා දහසකි.

(පිටුව 168)

පෙර ලක්දිව තිබූ නියම රාජ්‍ය ක්‍රමය
මේ දිසා රළලාට රටේ රාළලාගේ අදායමෙන් 20%ක් ලැබෙනු ඇත. මේ අයට වාහනය අශ්වයෙකි. දස දිනකට වරක් එක නිවස බැගින් රටේ රාළලාගේ නිවෙස් බලා සටහන් කිරීම දිසා රාළට අයිතිය. මෙබඳු දිසා රාළලා 10 දෙනෙකුගේ එබඳුම පාලනයට මහ දිසා රාළ හෙවත් අධිකාරම්වරයෙකු පත් කෙරින, දිසා රාළලාගේ ආදායමෙන් 20%ක් මහා දිසා රාළට ගෙවිය යුතුය. ලක්දිවටම මහ දිසා රළලා 100කි. මෙබඳු මහ අධිකාරම් මහා දිසා රාළලා 10කු පරික්ෂා කිරීමට මහ ඇමතිවරු එක් කෙනෙක් බැගින් මහ ඇමතිවරු දහ දෙනෙකි. 6 මසකට වරක් පමණ මේ මහ අධිකාරම්ගේ වත්කම් තොරතුරු බලනු ඇත. මේ සෑම කෙනෙක්ම දිනපතා ආගිය තොරතුරු කළ වැඩ සටහන් කර තබනු ඇත. මහ ඇමතිවරුන්ට මහා අධිකාරම්වරුන්ගේ ආදායමෙන් 20%ක් ලැබෙනු ඇත. මහ ඇමතිවරු 10 දෙනාගේ සියලු පාලනය මහ රජතුමා බලා ගනී. මහ ඇමතිවරුන්ගේ අදායමෙන් 20%ක් මහ රජතුමාට දිය යුතුය. සිටුවරු වැනි මහ වලව් තිබුන පිරිස අධිකාරම්වරු යටතේ වත්කම් බැලීම පාලනය විශේෂ වූ අතර රාජ භණ්ඩාගාරයට ඒ අය තම ආදායමෙන් 20%ක් යවනු ඇත. මෙසේ 10ක් පාලනය කර ලැබූ ආදායමින් අට කොටසකින් යැපෙන මේ පාලනය රාෂ්ට්‍ර පාලනය යැයි පෙර හැදින්වීය. කිසිම නිවසක අන්සතු දෙයක් රහසිගතව ‍තබා ගත නොහැකිය. දිනපතා නිවෙස් පරික්ෂා කරන බැවින් වැඩි වත්කමක් තිබුනොත් නිවසේ ප්‍රධානියා ඇතුළු පිරිස ඊට වගකිව යුතුය. කුමන්ත්‍රණකාරී කිසිම මෙහෙයවීමක් එකල සංවිධානයට මගක් නොවීය. ‍හොරුන් ඇතිවීමට ඉඩක් නොතිබුණි. රජයේ අයිතිය යටතේ තිබුන ඉඩම් අයිතිය කිසිවෙකුට විකුණන්ට උකස් කරන්නට බැරිය. මායිම් කටයුතු සැකසීම රජය සතු කාර්යයකි. වැව්, පොකුණු. ඇල වේලි ‍ආදි කටයුතු වලට පත් කළ තවත් නිලධාරීන් විය.

Apr 20, 2011

පිටුව 165 සහ 166

(පිටුව 165)
එසේම යුද්ධය පිළිබඳ වර්ණනා කරමින් ගැටීමට මෙහෙයවන පිරිසත් එය යහපත් යැයි කීම බුදු දහමට එකඟද? බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇත්තේ යුද්ධය කරන අය සරංජිත නම් අපායෙහි උපදින බවයි. සංගීත කරන අය පහාස නම් නිරයේ උපදින බව සංයුත්ත නිකායට අයත් තාලපුට නම් සූත්‍රයකද, යුද්ධ කරන අය සරංජිත නම් අපායෙහි උපදින බව යෝධාජීව නම් සූත්‍රයකද මනාසේ පෙන්වා ඇත. මිසදිටු බිඳ දමා මුලා සංගීත සහ මෝහ සහගත ගායනා අතහැර පුහු සටන් අතහැර සමගියෙන්ද, කාම සංසිඳීමෙන්ද නියම බොදුනුවන්ට අදිටන් කර ගනිමු. ලෝභ, ද්වේෂ, මෝහ වැඩ පිළිවෙලට ගොදුරු වී මුලාවට වැටෙන්ට හේතුවන මුල කපා දැමීම සමාජයේ සාරධර්ම යළි ගොඩනැගෙන්නට හේතු වන බව සිතිය යුතුය. අද සිදුවී ඇත්තේ නැණ නුවණ අඩුවක් නොව මුලා වැඩට මුල් තැන දීම නිසා යහපත් නැණ නුවණ නැසී යාමය. මුලා සහිත තැන කිඳා බැස සිටිමින් කොතෙක් දහම් සිහි කළත් කර්මස්ථාන නොවැඩෙනු ඇත. දහම් අවබෝධ යම් මොහොතක ලැබුනොත් මුලාවූ ලෝකයො හිස් මුඳුනින් දරා සිටින සංකර වැඩ පිළිවෙල හොඳින් වැටහී යනු ඇත. නැවත එබඳු මිලේච්ඡ කටයුතු කිසිසේත් අනුමත නොකරනු ඇත. කුළු මී හරක් පැටවා ලේසියෙන්ම කීකරු කර ගත හැකි වුවත් මෝරපු මහත්වූ කුළු මී හරකා කීකරු කර ගැනීම ඉතා අමාරුය. අමාරු වුවත් බලහත්කාරයෙන් මදු ගසා අල්ලාගෙන තද කඹයකින් කණුවක ගැට ගසා නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ නොදී පෙර ආහාරයට ගත් වල් කැලෑ කෑම ඉතා අඩු කළ විට මහත් වේගයෙන් දැඟලුවත් ටික දිනකින් ඌ මෙල්ල වනු ඇත. අතපත ගෑමටද හැකිවනු ඇත. ක්‍රමයෙන් කීකරු වූ පසු නැවත කැලයට නොගොස් මිනිසුන් ඇසුරේ ජීවත් වීමටත් වැඩට හුරු පුරුදු කර ගැනීමටත් ‍හැකිවෙනවා ඇත. බොදුනු සමාජය යැයි නමට කීවත් මෙකලද බොහෝ පිරිසක් ජීවිතය ගෙවන්නේ රෑ දහවල් අනාර්ය ආහාර භුක්ති විඳීමිනි. බලවත් වී ආනර්ය ගති ලක්ෂණ කුළු මී හරක් ලෙස වැඩී මනස දූෂ්‍ය වී ඇත. ආනාර්ය අභාෂයට නැමී ඇත. යම් විටෙක රටේ පාලක පක්ෂයත්, ප්‍රධාන පිරිසත්, රටවැසියාත් කණු වල ගැටගැසුවා මෙන් අකමැත්තෙන් හෝ ආර්ය ගුණ මගක සිටින්ට පසුතලයක් මේ ලක්බිම උදාවුවොත් අනාර්ය වන මුලා සංගීත, ගායනා, විලාසිතා, ලොව මහා ඉහළින් වර්ණනා කරන කෙළි සෙල්ලම් ආදී ලෝභ මෝහ වැඩ අත්හිටුවා දැමුවොත් මුල් කාලයේ මහ පාලුවක් සුන්දර ලෝකය අඳුරු කලාක් මෙන් වැටහුනත් ඉහත කී අනාර්ය ආහාර නොලැබීමෙන් අනාර්ය ගති ක්‍රමයෙන් හීන වී යටපත්ව යනු ඇත.

(පිටුව 166)
එවිටයි සුචරිතය සහිත ආර්ය ආහාරය භුක්ති විඳින ආර්ය චින්තනය පහළ වන්නේ. ඒ ආර්ය චින්තනයකයි ධර්ම හරය බැසගෙන පිහිටන්නේ. ඉහළ තැබු දෙයක් බිමට ඇද හැලීම ලෙහෙසිය. යළි ඔසවා තැබීම උත්සාහයෙන් ප්‍රවේශමෙන් කළ යුත්තකි. උඩට ඔසවා රඳවා තිබෙන කණු, ප්‍රාකාර ආදිය දිරායන්ට නොදී නිතර ශක්තිමත් කරන තුරු ප්‍රතිසංස්කරණය කරන තුරුයි ඉහළ තැබූ දෙය දරා සිටින්නේ. අපට නිදහස ලැබුනා. මානව අයිතිවාසිකම් නිසා නිදහසේ සුන්දර ලෝකයක ඉන්ට හැසිරෙන්ට තිබීමයි සාධාරණය, ප්‍රජාතන්ත්‍රවාදයයි මේසේ අදහස් කරන අය අද බොහෝ වෙති. බුදු රජාණන්වහන්සේද ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම ආදර්ශ‍යෙන්ද පෙන්නුවා යැයි සමහරු උන්වහන්සේද මේ තැනට ඇද දමන්නට මාන බලති. හිතුමතේ මෙලොවත් දූෂ්‍යව කටයුතු කර පරලොව අපමණ කාලයක් සතර අපා ගතව අනාථ වෙන්ට කටයුතු කරන නිදහස ප්‍රජාතන්ත්‍රවාදය යැයි දරාගෙන නිදහසේ මත්පැන් පානය, දුම්වැටි ඉරීම, රේස් බුකි, සූදු, අනාචාර සිරිත් විරිත්, සමාජ දූෂණ වැඩවලට නිදහස සෙවීම හරිද කියා සිතා බැලිය යුතුයි. එබඳු පිරිස් හිතු‍මතේ දුසිරිත්වල රස බලන්නට ඉඩ කඩ ඇහිරුවත් රට ඒකාධිපති පාලනයයි කියන්ට යුහුසුළු වනු ඇත. බුදු, පසේබුදු, මහ ‍රහත් යන මහා උත්තමයන් වහන්සේලාද, මහ සෘෂිවරුද මෙලොව පරලොව, පින්, පව්, යහපත අයහපත මේ මේ යැයි වටහාගෙන ඇත්තේ දිවැස් නුවණ සහිත අභිඥා ලාබී උපේක්ෂා සහගත සිත් වලිනි. මේ අතර බුදු පියාණන්වහන්සේලා අග්‍රය. මහා ප්‍රඥාවෙන් තුන් කල් දත් නුවණින්ය උන්වහන්සේලා ලොවට සිත වැඩ සලසා ඇත්තේ. කාමපේක්ෂාව නැති අපක්ෂපාතී උතුමන් දෙන යහපත් මාර්ගය බොහෝ විට කාමභෝගී ආත්මාර්ථකාමී පිරිසට යහපත් මගක් දැයි සිතා ගන්ටත් බැරිය. රජ කාලයේ පාලනය දරදඬු ඒකාධිපති, ආසාධාරණ එකකැයිද නිදහස අවුරා වහල් ජිවිත මිනිසුන් ගතකර ඇතැයිද තර්ක විතර්ක ගෙන හැර පාන්නේ ඒ නිසාය. ඒකාධිපති පාලනය යනු යම් පුද්ගලයෙකුගේ හිතුමතේ කරන පාලනයක්‍ නොවේ. එබඳු පිරිසක් රජකම් නොකළා නොවේ. ඒවා නම් මිලේච්ඡ පාලන ක්‍රම විය හැකිය. එබඳු මිලේච්ඡ පාලනයන් බිහි වුනේ සුචරිත මග පිරිහුන කාලවලය.

Apr 19, 2011

පිටුව 163 සහ 164


(පිටුව 163)
මුල කෑවොත් අග වැනසේ. මුල කන වැඩ පිළිවෙල සුන්දර ළමා ලෝකයක් කර උසස් සමාජයේ සාඩම්බර වැඩ පිලිවෙලක් ලෙස හුවා දක්වමින් ඒවාට ආවඩන දැන උගතුන්ය කියන පිරිසක් සහිත පාලක මණ්ඩල නිල දරුවන්ගේ ප්‍රශංසාත්මක ඇගයීම මේ විනාශයට පළමු හේතුවයි. ලෞකිකත්වය හිස් මුදුනින් කර තබාගෙන නවීන විලාසිතා ලෝකය දියුණු සමාජයේ උසස් අංගයක් කරගත් දින පටන් නුවණ මොට විය. සිංහල ජනතාව නැතිදාට බුදු දහම් විනාසයි කියමින් ජාතික හා බෞද්ධ අභිමානය ඉතා ඉහළින් සලකන ලක්වැසි ජනතාව බුදු පියාණන්වහන්සේ ශාස්තෘන්වහන්සේ ලෙස කෙතෙක් දුරට උන්වහන්සේ දේශනා කළ උතුම් ධර්ම රත්නය පිළිබඳව විශ්වාස කරනවාද කියා ටිකක් සිතා බැලිය යුතුයි. අපේ සිංහල පවුලක තරුණ ‍පුතෙක් එංගලන්තය වැනි රටක විශේෂ රැකියාවකට ගියා යැයි සිතමු. එම ‍රටේ ඉහල ඨානාන්තරයත් ඔහුට පුරවැසිභාවයද ලැබී එම රජය විශේස පිළිගැනීමක්ද සහතිව සම්මාන ප්‍රදානයෙන් ඔහු පිළිගෙන සිටී. ලංකාවේ සිය පවුලේ අයට ඔහුගෙන් පණිවිඩයක් ලැබේ. ලංකාවට වඩා ඉතා සුඛොපභෝගී ජීවිතයක් මෙහි ගත කරන බවත් තමාට විශාල වත්කමක්ද තිබෙන බැවින් එංගලන්තයේ පදිංචියට මව්පියන් ඇතුළු පවුලේ පිරිස එක්කර ගෙනයන්ට විශාල වටිනා ගෙයක් ඉඩමක් ගෙන ඇති බවත් වසරකින් එම රටට යන්ට කටයුතු සකස් කරගන් යැයි ඔහු මව්පියන් ඇතුළු සිය වුලේ පිරිසට දැනුම් දී ඇත. සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්ට බලාපොරොත්තු ඇති කරගත් පිරිස දැන් ලහි ලහියේ සුදානම් වන්නේ වසරකින් එංගලන්යට යාමටයි. මේ රටේ තිබෙන ගේ දොර ඉඩකඩම් ආදියද විකුණා මුදල් කර ගන්ට හෝ සුදුසු පැවරීමකට කටයුතුද සූදානම් කරන අයුරු දැන් දැකිය හැකිය. මේ පිරිසට මුදල්ද යහමින් ඇති බැවින් මුදල් පොලියට දෙන කටයුත්තක්ද තිබුනා යැයි සිතමු. විශ්වාසවන්ත ගනුදෙනුකරුවෙක් වැඩි පොලියකට අවුරුදු එක හමාරකින් ආපසු දෙන්ට පොරොන්දුව පිට ඉඩමක් හෝ උගසට තබා ගැලපෙන මුදලක් ඉල්ලුවොත් අකමැති වෙයි. හය මාසයකින් ආපසු දෙනවා නම් ඊට එකඟ වෙයි. මේ අතර එංගලන්තයේ පුතාගෙන පණිවිඩයක් ලැබේ. වැඩ කටයුතු හිතුවාට වඩා ඉක්මනින් සාර්ථක වූ බැවින් කොයි මොහෝතේ හෝ පවුලේ අය රැගෙන යන්ට ලංකාවට එන බව ඒ පණිවිඩයේ සඳහන්ය.
 
(පිටුව 164)
දැන් නම් 6 මාසයකින් ආපසු ගන්ට මුදල් ණයට දෙන බලාපොරාත්තුවද අතහැර දමා ඇත. ඕනෑම වේලාවක ගමන යාමට සැමදෙනාම සුදානමින් සිටී. පුතාගේ වචනය කොතෙක් විශ්වාසද? නමුත් මේ පුතා හදිසි අනතුරකින් මිය යන්ටද බැරිකමක් නැත. වෙන්ත බාධකයක් පැන නැගී ගමන අවලංගු වන්ටද බැරිකමක් නැත. නමුත් එංගලන්තයට පදිංචියට යන්ට ඇති බලාරොත්තුවට ඒවා බාධක ලෙසද නොසිතයි. අප සැමටද කොයි මොහොතේ හෝ මිය පරලොව යන්ට වීම මේ සැමටම වඩා විශ්වාසයි. නිශ්ඵල කාම මුලාවෙන් ප්‍රලාපයෙන් ගත කළොත් දස අකුසල්වල නියැලෙමින් ගත කළොත් මේ ගමන හතර අපායට යන්ට සැලසෙන බවත් අප්‍රමාදව සුචරිතව පින් කුසල් කර ගෙන සිටියොත් සුගතියට යන බවත් බුදු පියාණන්වහන්සේ මනාව දේශනා කර ඇත. කොහේ උපත ලැබුවත් හටගත් සියල්ල වැනසී යන බවත් මමය, මාගේය, මගේ ආත්මයය කියා අල්ලන්ට ලොව කිසිවක් නැති බවත් එබැවින් සියලු මුලාවන් අතහැර මිදී නිවනින් ලබන සැනසීම ඉතාම උතුම් බවත් බුදු පියාණන්වහන්සේ දේශනා කර ඇත. බෞද්ධත්වය ආරක්ෂා කරගෙන තමන්ද බෞද්ධ බව කියන බොහෝ බොදුනුවන් වන සිංහල පිරිස මේ බුද්ධ දේශනා කොතෙක් දුරට විශ්වාස කර ගෙනද අද කටයුතු කරන්නේ? එංගලන්තයේ පුතාගේ කීම පිළිබඳ තබා ඇති විශ්වාසයෙන් ‍දාහෙන් පංගුවක විශ්වාසයක් ඒ නිර්මල බුදු දහම කෙරෙහි තබා ඇත්ද? සුන්දර ලෝකයේ ආශා පොදි කර ගසාගෙන කාමාස්වාද මුලාවෙන් මත්වී රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, ස්පර්ශ කාම යන පංච කාමයන්හි මුළු දවස පුරා ගැලෙමින් “පමාදෝ මච්චුනෝ පදං” යන බුද්ධ භාෂිතය අනුව මළ කඳන් සේ කාලය කා දමමින් සසුන් කෙතටද අපහාස වන ලෙස දිවි ගෙවන අය බෞද්ධයෝද? කාමුක වූ මුලා සහගත වූ හිස් ප්‍රලාප පද වැල් ගොතා ගී සින්දු ලෙස නොයෙක් ගායනයන් කරමින් ඒවාට තාල වාදනය කරමින් උදේ පටන් රෑ වනතුරු තොරතෝංචියක් නැතිව ලක්දිව අස්සක් මුල්ලක් නෑර හඬ දෙවන්නේ එම හිස් ශ්‍රවණ ආස්වාදයෙන් මත්වී කල් ගෙවන්නේ බෞද්ධයන්ද? ගීතය හැඬීමකි. සංගීතය මොරගෑමකි යනුවෙන් දේශනා කල බුද්ධ භාෂිතය පිළිගෙන සිටින්නේ කවුද? මරණින් පසු “පහාස“ නම් නිරයේ ඉපිදී සංගීතයෙන් ලොව මායා මුලාවට දමන පිරිස ගිනි‍ගෙන දැවෙන සංගීත භාණ්ඩ වාදනය කරමින් අපා දුක් විඳින බව දේශනා කර ඇත. ඒවා දුහුවිල්ලක් තරම් වත් සත්‍ය යැයි සිතුවා නම් අද මේ මහා මුලාව තුළ බොදුණුවන් යැයි කියන පිරිස හැසිරේද?

පිටුව 161 සහ 162

(පිටුව 161)
ඉහතකී නව ආකාරයේ දූෂ්‍යතාවය ඉතා භයානකයි. ආර්ය මාර්ගය වඩන අයට එය මහා විනාශයකි. විශාලපාඩුවකි. “අනේ මුලාවට පත් මෝඩ අසත්පුරුෂයන්ගේ හැටි. මොනවා කරන්නද? මා වැන්නෙකුට කරන හිංගි හිංසා හේතුවෙන් සිදුවන පාපය කවදා ගෙවා නිම කරන්ටද? කවදා හෝ ඔවුන්ට ගුණවතුන්ගේ ගුණ වැටහේවායි“ ප්‍රාර්ථනා කල යුතුයි. මේ වචන පවා කෙනෙකු ළඟ ඇසෙන්නට නොකීමයි ඉතා හොඳ ඒ වචනයෙන්ම පෙරළා ගසන පහරක් විය හැකි බැවිනි එසේ අනුන්ට ඇසෙන්ටද නොකිය යුතුවේ. මොනවා කිව්වත් මම නම් හතුරෙකුගේ වත් සිත රිදෙන දෙයක් නොහිතමි, නොකියමි, නොකරමියි තරයේ ඉවසීමෙන් කටයුතු කළ හැකි නම් අසත්පුරුෂ ලෝකය කෙරෙහි හිත වහා මිදී යනු ඇත. ‍ලෝකය දුක් ගිනි වලින් පිරී ඇති හැටි මනාසේ පෙනෙනු ඇත. ඉවසීම දිනෙන් දින පුරුදු වූ විට කවුරු තමාට මොන අවැඩ කලත් අකම්ප්‍යව සමවතින් සිටින්නට හැකි වනු ඇත. එවිටයි තම ඉවසීමේ ප්‍රතිඵලය ලෙස අත්විඳින්නට ලැබුන මානසික වූ ශාන්තිය අත් දකින්නේ. පෙර අවැඩ කරනු දුටු විට හටගත් දාහ ගින්න සිසිල් ජලාශයක් ගලාවිත් නිවී ගියා සේ පසුව වැටහෙනු ඇත. ලෝක‍යේ බොහෝ අය මට හතුරුකම් කළත් මම ලොව කිසිවෙක් සමඟ හතුරු නැතැයි තමන්ට විශාල සැනසුමක් ඇති වනු ඇත. ආර්ය මෛත්‍රීය නිරායාසයෙන් වැඩෙන අතර මේ වැඩ පිළිවෙල වහ වහා අනාගාමී ඵලය කරා ඒ දහම ආධාරයෙන් ගෙන යනු ඇත. එබැවින් මෙසේ දූෂ්‍ය නොවී සිටිය හැකි නම් එය ආර්ය ශ්‍රාවක මහා ගුණයකි. මෙබඳු උතුම් ගුණයට සම කළ හැකි ලෞකික වූ තවත් කිසිම ගුණයක් නැත. එතරම් උත්තරීතර ගුණයකි. අසත්පුරුෂයා තමන්ට සියයක් කළ යහපත් දේ අතර එක අඩුපාඩුවක් දුටු තැන පහර ගසන, විවේචනය, අපහාස කරන බවත් සත්පුරුෂයා තමන්ට කළ සියයක් අයහපත් දේ අතර එක් යහපතක් දුටුවොත් ඒ ඉතිරි සියල්ලෙහි මධ්‍යස්ථව ඒ ගුණ මාත්‍රය හුවා දක්වා ප්‍රශංසා කරන බවත් බුදු පියාණන්වහන්‍සේ දේශනා කර ඇත. ඒ බුද්ධ භාෂිතය අනුව කටයුතු කරන සත්පුරුෂ‍යෙක් විය හැකි නම් අප නොසිතූ අයුරින් සතුරා යටහත් වනු ඇත. සතුරුකම් මගහැරී යනු ඇත. මෙබඳු කෙනෙකුට හදවත් උණු නොවී තවත් හතුරුකම් කරනවා නම් කවදා හෝ එබඳු සත්පුරුෂයා සසර කළ බලවත් පාප කර්ම නිසාම සිදුවන්නකි. එබඳු උතුමන් ඒ ගැන සිතා සන්සුන් වේ. ගැටීමට නොයනු ඇත.
 
(පිටුව 162)
මෙවැනි උතුමන්ගෙන් හතුරෙකුට වත් අවැඩක්, අයහපතක් සිදු නොවේ. තමන්ට චිත්ත ශාන්තිය වැඩී එන්නේ නිරායාසයෙනි. මුලදී මේ හික්මීම ඉතා බැරෑරුම් කටයුත්තක් ලෙස පෙනුනත් ප්‍රගුණ වූ විට ඉතා ශාන්තය. පහසුය. සමාජය සත්පුරුෂ වූ තරමට යහපත් ගති ගුණ ඇති අයට වාසය ඉතා සැනසුම්දායකය. දහම් මග බොහෝ පින්වතුන්ට වැඩී එයි. එසේම යම් කලක සමාජය අසත්පුරුෂ වූ තරමට සිල්වතුන්ට, ගුණවතුන්ට ඒ සමාජ පරිසරයද බාධක කරදර සහිත වේ. ගුණය නිසා ශාන්තව සියලු කරදර ඉවසුවත් ආරම්භක ගුණ වඩන උතුමන්ට එය මහත් බාධකයක්‍ වේ. මහා වෘක්ෂය සැඩ හිරු එළියට ඔරොත්තු දෙමින් අනිත් ගස්වලට සිසිල, සෙවන සැපයුවත් ළදරු පැළෑටියට ඔරොත්තු නොදෙන්නාක් මෙනි. මෙතරම් බණ කියන, බණ අසන රටක්, මෙතරම් අපරාධ කෙරන ‍රටක් ලොවම නැතියි සමහර පිරිස් මේ ලක්බිම සමච්චලයට ලක් කරනු මෙකල අසන්නට ලැබීම නොරහසකි. ඇයි අප රටට මෙහෙම අපවාද ලබන්නට හේතු වුනේ, හේතු ඇති නිසයි ඒ අය එහෙම කියන්නේ. නිය තුඩින් කඩා දැමිය යුත්ත ගණන් නොගෙන හැරීමෙන්ද අද පොරොවෙන් කපන්නටත් අමාරු වන වල් ගස් මෙන් දුෂ්චරිත බලවත් වී ඇත. කුළු මී හරකාට “හෝව්” කිව්වාට අසයිද? හතර පස් දෙනෙකුට වත් කීකරු කරන්නට හැකිද? කුඩා කල පටන් මිනිස් පරිසරයේ මිනිස් ඇසුරේ සැදුන හරක් සිය ගණනක් එක් ගොපලු දරුවෙකුට අවනත වන හැටි පෙනේද? පොඩි දරුවෙක් අත ඇති කෙවිට දුටු පමණින් ඕනෑම අතකට, හරක් රෑනක් පාලනය කරන ක්‍රමය වෙනස් වී නැත. ඊට බාධක වන වැඩ කටයුතු ගව රැලට හිමි වී නැත. ස්වභාවයෙන්ම සටන් කරන්නට අං ඇති හැඩි දැඩි මී හරක් පවා ක්‍රමානුකූල පාලනයක කුඩා කල පටන් හික්මවා ගත් විට කෙතෙක් දුරට කීකරු පිරිසක් කරගත හැකිද? එසේ නම් ඇයි හොඳ, නරක, යහපත්, අයහපත් දේ ගැන දැනුම් තේරුම් ඇති මිනිසාට මග පෙන්වා යහපත් කරන්නට මෙතරම් අමාරු?

Apr 6, 2011

පිටුව 159 සහ 160

(පිටුව 159)
නොයෙක් පිළිසරණ පතා ආගම් දෘෂ්ඨි යාඥා ආදියට බැඳෙන්නේ නම් අසීමිත බලාපොරොත්තු කෙසේ හෝ සඵල කර ගන්ටය නොලැබුණු නම් අසීමිත බලාපොරොත්තු කෙසේ හෝ සඵල කර ගන්ටය නොලැබුණු මේ තත්වයන් ලබන්නට ඇති බලාපොරොත්තු අනාගතය අල්ලාගෙන මහා අසහනයක් ගෙන දෙයි.. ලැබුනා යැයි සමහර විට මහත්සේ උද්දාම වෙයි. අප්‍රමාණ සසරේ පටන් මේ මායාවන්ට පැටලී මේ අසහනය උද්දාමය සංවේගය ලැබුවා මිස කිසි කෙනෙක් සැනසීම ලබා නැත. සැනසීමට කිසිවක් පැවැත්ම තුළ නැති බැවිනි. මේ සියලු බලාපොරොත්තු අත හැරියොත් පමණි සැනසුම ලැබනේනේ. එය පැවැත්මක් අල්ලාගෙන ලබන සැනසුමක් නොවේ. අත්හළ විට ලැබෙන සංසිඳීමේ සුවයකි. එයයි නිවන් සුවය.
ආර්ය මාර්ග ඵල අවබෝධයෙන් පටන් සත්‍යය දැක ප්‍රත්‍යක්ෂ කරන තුරු ලෝ සතුන් වෙහසෙන්නේ ලෝකාස්වාදය තුළින් ම සැනසුම සෙවීමටයි. අනන්ත සසරේ පටන් මේ මිස දිටුවට බැසගත් ලෝ ‍සතුන්ට එකවරම ආර්ය වූ සංසිඳීම නම් වූ සියලු ආශා අතහැර නිදහස් වීම කරගන්ට යැයි මෙහෙය වන්ට ගියහොත් ඔවුන්ට එය පාළුවක් ලෙස සිතෙනු ඇත. සැනසුමක් ලෙස කෙසේවත් නොවැටහෙනු ඇත. ලෝකාස්වාදය දෘස්ඨිකෝණයක බැඳී නිවනේ සැනසුම කෙසේවත් දක්නට නොහැකියි. ලොවට ඇලෙන ඒ ලෝක සුවයෙහිම යෙදෙමින් ඒ සඳහාම වෙහෙසෙන අයට සිදුවන්නේ සත්‍ය දැකයි නොහැකි ලෙස නිවනේ සැනසුම දැකිය නොහැකි මහත් ආගාධයකට වැටීමටයි. එබැවින් මේ ආගාධයට නොවැටී බේරුනොත්ය. ක්‍රමයෙන් නව ලොව්තුරා සදහම් අවබෝධයට නැගීවිත් ප්‍රත්‍යක්ෂ ලැබෙන්නේ, අනාදිමත් සසරේ අත්නොදුටු නිවන් සැනසුම අත්දකින්නේ එවිටයි. මේ පරම ශාන්තිය අත්දකින්නට නම් නව ආකාර ආගාධ වස්තු තේරුම් ගෙන එයින් තමන්ට වන විශාල අවැඩ තේරුම් ගෙන ඉන් මිදී විමුක්තිය ලැබීමට උත්සාහ කළ යුතුයි. සැනසුම් සහගත අදහසක් නිතර ඇසුරු කර ධ්‍යාන නම් වූ චිත්ත ශාන්තියක් ඇති කර ගත හැකියි. එහෙත් ඒ නිවන නොවේ. විදර්ශනා ප්‍රඥාවෙන් පහළ වූ මාර්ගඵල නොවේ. දෙව්දත් තෙරුන් ද මහ සෘද්ධි බල සහිතව ධ්‍යාන ලබා සිටි කෙනෙකි සඟ පිරිස් පාලනයට කෑදර සිතක් පහලවී උපක්‍රම යොදා අජාසත්ත කුරු වසඟ කර ගන්ට නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්යයන්ද පෙන්වා ඇත. ලබා සිටි ධ්‍යාන අභිඥා ඒ දක්වාත් නොපිරිහිනි. සංඝ භේදයත් සමඟයි ඒ සියල්ල පිරිහී ගියේ. කෙතේ දූෂ්‍ය වන්ට හේතු සැඟවී හිතේ මුළු ගැසී තිබුණාද යන්න ඉන්පසු බුදු පියාණන්වහන්සේ මැරීමට සිතා ගල් පෙරලීම දුනුවායන් යෙදවීම නාලාගිරි ඇත්රජ කෝප කර ඉදිරියට එවීම යනාදී සිදුකල දේ වලින් පැහැදිලි වේ. එබැවින් ධ්‍යානයක් ලැබුණත් එයින් උදද්දාම වන්නට නොවටී.

(පිටුව 160)

නවවිධ ආගාධ වස්තු
අඩු තරමින් සෝතාපන්න මාර්ග ඵලයට පත් වූවානම් කිසි ‍දිනෙක සතර අපායට යන පාපයක් ඒ ආර්යයන් වෙතින් සිදු නොවනු ඇත. එහෙත් එකතරා මට්ටමක ඇලීම්, ගැටීම් නිසා වන මානසික අසහනකාරීත්වයේ වඳ වේදනාවන් ඒ අයටත් විඳින්නට හේතු තිබේ. සකෘදාගාමී වන විට ඒවා තුනී වී ගොස් අනාගාමී වන විටයි සියලු කාම වස්තු පිළිබදව අසහනයෙන්ගෙන් සදහටම මිදී යන්නේ. මෙසේ ලබන සංසිදීම් සුවය නම් කිසි කලෙකත් යළි දුක් අසහන වලට නොහෙළනු ඇත. මේ උතුම් ආර්ය මාර්ගයෙන් පල ලබන්නට නව විධ ආගාධ වස්තු තේරුම් ගෙන ආර්ය මාර්ගය වැඩීමට ඒවායින් වන මහත් බාධාව පාඩුව වටහාගෙන කෙතෙක් තමන්ට අසහනකාරීත්වයක් අසත්පුරුෂ ලෝකයෙන් ඇති කළත් ඉතා ඉවසීමෙන් ඒ සියලු දුක් ගැහැට විඳ දරාගෙන, මාගේ සිත කෙතෙක් රිදෙව්වත්, මා හට වචනයෙන් කෙතෙක් අපහාස බැනීම් සිදු ක‍ළත්, මා හට කෙතෙක් ගැසුවත්, කැපුවත්, කෙටුවත්, මා මරා දැමුවත් දහම් මගට ආර්ය මගට බාධාවන දූෂිත බව නම් මේ සියලු දුක් කරදර වලට වඩා මට සිදු කරන්නේ විශාල පාඩුවකියි සිතා දූෂිත නොවී ආර්ය මාර්ගය වඩන මා මිය ගියත් මට නිවන හිමි බව දනිමියි ධෛර්යය උපදවා මේ නව විධ ආගාධ වස්තු විලින් ඉවත්ව සිටීමට වග බලා ගත යුතුය. ඒ ආගාධ වස්තු නවය මෙසේයි.
  1. මොහු හෝ ‍මොවුන් මට අවැඩක් කළා යැයි හිත දූෂ්‍ය කර ගැනීම
  2. මොහු හෝ මොවුන් දැන් මට අවැඩ කරයි කියා හිත දූෂ්‍ය කර ගැනීම
  3. මොහු හෝ මොවුන් මට මතු අවැඩ කල හැකියි කියා හිත දූෂ්‍ය කරගැනීම
  4. මොහු හෝ මොවුන් මගේ හිතවතාට ඇවැඩක් කළා යැයි හිත දූෂ්‍ය කරගැනීම
  5. මොහු හෝ මොවුන් මගේ හිතවතාට දැන් අවැඩ කරයි කියා හිත දූෂ්‍ය කර ගැනීම
  6. මොහු හෝ මොවුන් මගේ හිතවතාට මතු අවැඩ කල හැකියි කියා හිත දූෂ්‍ය කරගැනීම
  7. මොහු හෝ මොවුන් මගේ හතුරාට හොඳ වැඩක් කළා යැයි හිත දූෂ්‍ය කර ගැනීම
  8. මොහු හෝ මොවුන් මගේ හතුරාට හොඳ වැඩ කරයි කියා හිත දූෂ්‍ය කර ගැනීම
  9. මොහු හෝ මොවුන් මගේ හතුරාට මතු හොඳ වැඩක් කළ හැකියි හිත දූෂ්‍ය කරගැනීම

පිටුව 157 සහ 158

(පිටුව 157)
ලෝකයේ මොනවා සමඟ හෝ මිත්‍රත්වයෙන් බැඳුනහොත් ඇති වන්නේ මිතුරු වන්තයෙකි. මිත්‍රත්වය සංඝනිකා දෝෂ සහිතයි. මුලු ලොවම තිබෙන්නේ කැඩෙන, බි‍ඳෙන, විනාශ වෙන, කඩන, බිඳන, විනාශ කරන, කැඩී යන, බිඳී යන, විනාශ වී යන දේවල්ය. මේ කුමක් සමඟ හෝ මිත්‍රත්වයක් ඇතිකර ගතහොත් ඒවාට උරුම වන ස්වභාවයන් ක්‍රියාත්මක වන විට ඇතිවන්නේ ගැටීමකි. කොටින් කියනවා නම් ඇල්ම යම් තැනකද එතැන ගැටීම ඇත. මුලාවද එතැනය. ඇල්ම අතහැරියොත් ගැටීම සහ මුලාවද ඒ සමගම අතහැරී යනු ඇත. ලොව යම් පාපී දහම් සමඟ ඇති වන මිතුරු බව හෙවත් ඇලීම දුෂ්චරිත පිළිබඳව ඇලීම වඩාත් භයානක ගැටීම් සහ මුලාව ඇති කරයි. මේවා උච්ඡේද දෘෂ්ටි වලට වැටෙයි. මේ එක් අනතයක් හීනය ග්‍රාම්‍යය පෝථුජ්ජනියකය අනාර්ය අනර්ථ සහිතය ලෝක පැවැත්මේ දෙව් ලොව, බඹ ලොව ආදියෙහි ‍හෝ ඒවාට හේතු වන දහම්හි පැවැත්මේ ආස්වාදය හිතා එහි බැඳුනහොත් ඒවාද දුක්ඛය අනාර්යය අනර්ථ සහිතය ශාස්වත දෘෂ්ඨියට හසුවේ. එබැවින් මිතුරු සිතකින් බැ‍ඳෙන මේ සියල්ලම පොදුවේ මිතුරුහිත් හෙවත් මිච්චාය. මිච්චා යන වචනයට වැරදි අයහපත් ආදී අර්ථ දුන්නත් ඒ අර්ථ වලින් නියම තතු පැහැදිලි කර ගැනීම අමාරුය. වචනයේ ගැබ් වී ඇති අර්ථය සොයාගත් විට අර්ථය පැහැදිලි වේ. යමක් ගැන මිත්‍ර සිතක් හැඟීමක් හටගන්නේ එය නිත්‍ය ලෙස සැප ලෙස ආත්ම ලෙස ගැනීම නිසයි. යමක් මොහොතක්වත් නිත්‍ය ලෙස නොපවතී නම් හටගත් සියල්ල විපරිණාමයට පත්ව වැනසේ නම් ඒවා කැමති සේ පවත්වනට ත්ත කළත් කිසි විටකත් එය සාර්ථක නොවේ. බලාපොරොත්තු කඩ වේ. එවිට ඒ හේතුවෙන් හටගන්නේ දුකක්මය. සැනසුමක් කොයින් ලැබේද? එබඳු දෙයක් තව දුරටත් මමය මගේය මගේ ආත්මය යන දුෂ්ටියෙන් සිතයිද ඇලුම් කරයිද තමන්ගේ යයි ඒ කිසිවක් මොහොතක්වත් කැමති සේ නොපවතිනු ඇත. එබැවින් ඒවායින් සැනසුමක් හොයන්නට ගියොත් වන්නේ අනාථ බවකි. ලොව පවතින සියල්ල අර්ථවත් නම් ඒ තුළ අපට සැනසිල්ලේ සිටින්නට හැකිවිය යුතුයි.

(පිටුව 158)

අප අනන්ත සසරේ ආ භව ගමන තුළ දෙවියෙක් බ‍ඹෙක් මිනිසෙක් ලෙස සිටි භව වාර අනන්තය. ඒ කාලවල මහේශාක්‍ය ලෙස සිටි අත් බැව්ද අප්‍රමාණය. මමය මගේය කී ලෞකික සම්පත් අප්‍රමාණය ඒ අතර අප කැමති පරිදි සිටින්න අපට පිළිසරණ පිණිස කිසිවක් තිබුණා නම් අප අද සිටිය යුත්තේ එතැනය. අතීත වූ සියල්ල අද තිබුණ තැනවත් නැත. මතකයට නගා ගන්ටද නොහැකි ලෙස අමතක වී ගොස් ඇත. එහෙත් ඒ ඒ අත් බැව්හි අප හිඳ ඇත්තේ මම මෙබඳු මහේශාක්‍ය කෙනෙකි මගේ සම්පත් මගේ බලය මගේ ආධිපත්‍ය මෙසේය යන මමත්ව හැඟීමකිනි. සියල්ල අර්ථයෙන් හිස්වී වැනසී ගොස්ය. මෙතෙක් සසර ලැබූ කිසිම අත්බවක් තුළින් අපට පිළිසරණක් ලැබී නැත. මෙතක් ආ අප්‍රමාණ අතීත සියල්ල අනාථ ලෙස වැනසී‍ ගොස් ඇත.
දැන් මේ ගත කරන්නේද එබඳු අනාථ වූ මමෙක් තුළය. මගේය කියන දේ ඇසුරේය. අනන්ත භවයේ සිදුවූ අනාථ වැනසී යාමය දැනුත් සිදුවෙමින් තිබෙන්නේ. දැන් පටන් මතු අනාගතයේ කොතෙක් ඉදිරියට නිපදවීමෙනි සැරි සැරුවත් ලබන්ට වෙන්නේ එබඳුම අනාථ ස්වභාවයක්මය. කාම භව, රූප භව, අරූප භව, යන භවත්‍රයක ආ ගමන තුළ පිළිසරණක් ලැබී නැත. එසේ නම් පිළිසරණ පතා පවතින්ට නම් ලොව කිසිවෙක් සමග කිසිවෙක් කිසිවක් සමග මිතුරු වී පලක් නැති බව වටහා ගත යුතුයි. මෙසේ තේරුම් ගෙන සිතීමෙන් ලොවට බැඳී මිත්‍රත්වයක දුරු වී මිච්ඡාව දුරුවනු ඇත. සං නැමැති සියලු එකතුන් ගෙන මිදී ගොස් සම්මා වනු ඇත. තමන් සහිත ලොව කෙනෙකුට හෝ දෙයකට හෝ තත්ව ඨානාන්තරයකට හෝ මම ගුණවතෙක්ය, සිල්වතෙක්ය, ඇමතියෙක්ය, මන්ත්‍රීවරයෙක්ය, ගුරුවරයෙක්ය, නිළදරුවෙක්ය ආදී කී නොකී මෙවන් කෙබඳු තැනක හෝ ඇලුම් කළොත් ඒ ඇලමම ආර්ය මාර්ගයට බාධා පිණිස වනු ඇත. මේ සියලු තත්ව ඨානාන්තර ස්වභාවයෝ පැවැත්මේ ආස්වාද හොයන පිරිසකගේ ‍පොර මඩලක පොර බඩුය. බල්ලන්ට අසුවූ මස්කටු මෙනි. උගුස්සන්නට අසුවූ මස්කැටි මෙනි. මේවායේ ‍ඇලීම නිසයි සියලු අසහන ඇති වන්නේ. හදවත දැවෙමින් තැවෙමින් ගැටීම් හට ගන්නේ මුලාවූවන්ට මේ තරගය අතහැර යන්ට අමාරුය. කෙසේ හෝ තරග කර තම බලාපොරොත්තුම සඵල කරගන්නට දරන උත්සාහය නිසා හිතට සැනසුමක් නැත. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක මොහෙතක් පාසා වද දෙමින් නැගී එනු ඇත. සිත කලඹන්නේ අවිවේකී බවට පත් කරන්නේ මේ අසීමිත බලා‍පොරොත්තුවයි.

Mar 22, 2011

පිටුව 155 සහ 156

(පිටුව 155)
යම්සේ මේ හාමත් බලු උපාදානය සියල්ලන්ටම වඩා බලවත්ව ක්‍රියාත්මකව පවතින විට එබඳු කලක එම මිනිස් කය බිඳී ගියොත්. භව ගාමී වූ දුසිරිත් පාප සහගත බලු ජාතියක් නිපදවන්නට හේතුවූ ශක්තිය ක්‍රියා කරන්නට පටන් ගනී. ඒ කර්ම ශක්තියේ පාලනයට බලයට නැමුන සතර මහා භූත ක්‍රියාකාරීත්වය හාමත් බලු ජාතියක් ලොව පහළ කරන්නට සුදුසු පරිදි ක්‍රියාත්මක වේ. මේ බලවේගය කිසිවකුගේ කැමත්තට හෝ අකමැත්තකට අනුව පාලනය වන්නක් නොවේ. යම් ධර්මතාවයකට මෙසේ අවනතව ස්ව හෙවත් තමා පහළ කරයිද එබැවින් ස්ව + භාව යන ධර්මතාව ලෙස ක්‍රියාත්මක වේ මෙයයි ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය ලෙස ක්‍රියා කරන්න නියම පටිච්ච සමුප්පාද නියාමයයි. දැන් අප දැක ඇත්තේ මේ ධර්ම නියාමයේ ප්‍රතිඵලයයි. හාමත් බලු ධර්මතාව දුෂ්චරිතයකි. නොකටයුත්තකි, පාපයකි, වරදකි, අනාථ බවකි, කැමති සේ ‍නොපවතින්නකි, දුක් පීඩාවකි කියා නොදකින බැවින් හාමත් බලු ධර්මායෝ යථා තත්වය නොදකින අවිද්‍යාවෙන් වැසුණු අසත්පුරුෂ ස්වභාවයෙන් ආරම්භ වී පටිච්ච සමුප්පන්නව සතර ධාතු හෙවත් ආපෝ ධාතු, තේජෝ ධාත, වායෝ ධාතු, පඨවි ධාතු යන මේවායේ සමවායෙන් පහල වූ චිත්ත, චෛතසික, රූප, ස්කන්ධ පොදියකි ඒ අප කියන බල්ලා කියන ජාතිය. මෙබඳු හේතු ඵල පාප පොදියක් උඩ පැන පැන සතුටු උනාට දහම් දත් අයට එයද සංවේග උපදවන්නක් මිස සතුටු වන්නට කාරණයක් නොවනු ඇත. අවිද්‍යාවක, තෘෂ්ණාව පැටළුන අනාථ ක්‍රියාවලියක් හැර එහි ඇති හරය කුමක්ද කියා සිතෙනු ඇත. ආර්යය පුණ්‍ය ක්‍රියාවක් කරන විට බල්ලාගේ බඩගින්න ගැන කම්පා වී කුමක් කරම්ද? උගේ දැඟලුම, ප්‍රබෝධය, නැටුම ගැන කුමකට සතුටු වෙම්ද? මේ සියල්ල හිස් මුලාවන්ය. එසේ නම් යහපත් සේ ආර්යය මාර්ගයට ගැලපෙන සේ ඌට ආහාර දී කුමක් බලාපොරොත්තු විය යුතුද? බුදු පියාණන් වහන්සේ දේශනා කළ නව ලෝකොත්තර ධර්ම රත්නය ශ්‍රවනය කර දරාගෙන ඒ මග අනුගමනය කරන මම ආර්යය ගුණ දරන කෙනෙක්මි. එබැවින් බුද්ධ ශ්‍රාවකත්වයට හිමිකම් කියන සිව් පිරිසට අයත් යමෙක් බුද්ධ ශ්‍රාවකයන් කෙරෙහි මාත්‍ර වූ හෝ චිත්‍ර ප්‍රසාධයක් පහළ කරන්නේ නම් දීර්ඝ කාලයක් ඔහුට හිතසුව පිණිස, සුගතිය පිණිස කවදා හෝ නිර්වාණාවබෝධය පිණිස හේතු වනු නොඅනුමානය.

(පිටුව 156)
මේ බල්ලාට මා දෙන මේ ආහාර ටික නිසා එම සතාට මා කෙරෙහි සතුටක් ප්‍රසාදයක් ඇතිවනු ඇත. එයම ඔහුට සසරෙන් මිදීමට මාගේ මේ කටයුත්ත නිසා ලැබෙන සම්පත්තියකි. මා බුදු සව්වෙක් බැවින් මා කෙරෙහි යම් අමනාපයකින් මූ හැසිරෙයිද? කටයුතු කෙරයිද එය මූ නොදැන සිටියත් දුගතියට විනාශයට හේතුවනු ඇත. මෙසේ මොහුට මතුවන විනාශය නොවේවායි මූ කුපිත නොකරමි. මූට සිත සතුටු වන ලෙස මේ ආහාරය දී ඒ සතාට ඇති වන මාත්‍ර වූ හෝ චිත්ත ප්‍රසාදයේ වටිනාකම සිහිකර මේ ආහාරය දෙමි. මෙසේ සිහිකොට දුන් ඒ බත් පිඩ තමාගේ ඤාණ සම්පයුත්ත ආර්යය ක්‍රියාවක් වනු ඇත. සතා තමා දැක නකුට හෝ වැනුවේද සතුට පහළ කළේද මෙයම ඔහුට මතු යහපතකට ද කවදා හෝ සත්පුරුෂ ආශ්‍රයකට ද මග පෑදෙන කරුණකියි දැන එයම සිදුවේවා, අනන්ත සසරින් මිදේවායි සිහි කළ යුතුයි. මෙහිම ආර්යයන්ට ගැලපෙන මෛත්‍රී සහගත යම් කාය කර්මයක් ඇත්ද වචී කර්මයක් ඇත්ද මනෝ කර්මයක් ඇත්ද ඒ සියල්ල සිදුවනු ඇත. සසර දුක ගැනත් දුකට හේතු කාරක සකස් වන අයුරුත් දුක දුරලන නිවනත් ඒ නිවන් මග ක්‍රියාත්මක වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් තත්වාකාර නුවනට දැක මාර්ගයද මාත්‍රයෙන් මාත්‍රය වැඩෙනු ඇත. දිනපතා මෙසේ සිහි කර බල්ලෙකුට කන්ට දෙයක් දෙන කෙනෙකුටද නිවන ඇති වන හැටි මෙසේ තේරුම් ගත යුතුයි දිනෙන් දින මෙසේ නැතිබැරිකම් දුප්පත්කම් අනාථ වූවන් ආදීන් ඊට හේතු වූ මූල ධර්මතාවයන් එය වැළඳ ගන්ට හේතු වන අවිද්‍ය ස්වභාවයෙන් එයින් පහළ වී ඇති අසරණ අනාථ ජාතිවල ස්වභාවයෙන් පටිච්ච සමුප්පන්න ධර්ම න්‍යය අනුව සිතන්නට වූ විට ඉතා කෙටිකලකින් “යෝ පටිච්ච සමුප්පාදං පස්සති, සෝ ධම්මං පස්සති“ යන බුද්ධ දේශනාව පරිදි “යමෙක් පටිච්ච සමුප්පාදය දකීද හේ ධර්මය දකී “ අයුරින් දහම් දකිනු ඇත.  මේ බුදුන් දැකීම යනු රූපයක් දැකීම නොව පරම සත්‍යය දැකීමයි.  දහමේ සියුම් කරුණු විනිවිද දැකීමට කට පාඩම් තිබුණත් බැරිය. මේ සදහා සමතයකට පත් මනසක් තිබිය යුතුය. සමතයකට පත් මනසක් ඇති විටයි ආත්ම ලාභයට වසඟ නොවී හරි වැරදි නියම හේතු පල ධර්ම අනුව වටහාගෙන්ට හැකි වන්නේ. අංගුත්තර නිකායේ සත්පුරිස සූත්‍රය, පරම සත්පුරිස සූත්‍රය, අසත්පුරිස සූත්‍රය, පරම අසත්පුරිස සූත්‍රය යැයි සූත්‍ර හතරක් ඇත. ‍ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි යනුවෙන් මිච්ඡා දහම් අටකින් යුක්ත වන්නේ අසත් පුරුෂයායි. මිච්ඡා ඥාණ, මිච්ඡා විමුක්ති යන දහම් දෙකද ඒ සමඟ යෙදුනහොත් පරම අසත්පුරුෂයො ලෙස හඳුන්වා ඇත.

Mar 10, 2011

පිටුව 153 සහ 154

(පිටුව 153)
මෙසේ ඉන්ද්‍රීය 6 ඉහත කී ධර්මතාවයට ආයතන වී ඊටම ආධාර ලබා දෙන විට ඒ ආයතන 6 ප්‍රත්‍ය වීමෙන් හාමත් බලු ධර්මතාවයට වඩ වඩාත් නැමෙමින් එයම රුප්පනය බලවත් කරන්නට පටන් ගනී. සලායතන පච්චයා නාම රූපං යන සිද්ධාන්තය හාමත් බලු ධර්මතාවයට ක්‍රියාත්මක වූ ආකාරයයි. ඒ, මෙසේ හාමත් බලු ධර්මතාවයට නැමී එයම රුප්පනය වන විට ඉන්ද්‍රීය 6 ක්‍රමයෙන් ඒ ධර්මතාවයටම බලවත් වූ ආයතන බවට පත්වේ. මෙසේ ඇස, කණ, දිව, නාසය, දිව, කය යන ඉන්ද්‍රීය 5 හාමත් බලු ධර්මතාවයට ආයතන වී 6 වෙනි වූ මන ඉන්ද්‍රීය හාමත් බලු ධර්මතාවය දරන මනායතනයක් ලෙස බලවත් වේ. මෙසේ බලවත් වූ මනායතනය 6වෙනි ආයතනයයි. නැත්නම් නාම රූප පච්චයා ජට්ඨායතනං යන සිද්ධාන්තය අනුව ක්‍රියාත්මක වේ. බලවත් වූ එම ජට්ඨායතනය හාමත් බලු ධර්මතාවයම දැන් බලවත් ලෙස ස්පර්ශ කරයි. මෙම බලවත් වූ හාමත් බලු ධර්මතාවයේ ස්පර්ශයේ පමණට එම හාමත් බලු ධර්මතා වින්දනයද බලවත් වේ. ඵස්ස පච්චයා වේදනා යන සිද්ධාන්තය අනුව මෙසේ ක්‍රියාත්මක වේ. දුෂ්චරිත සහිත වූ හාමත් බලු වින්දනය එම හාමත් බලු ධර්මාතාවයම බලවත් සේ ස්පර්ශ කරවයි. බලවත් වූ හාමත් බලු ධර්මතාවය ස්පර්ශ කරන විට අසත් පුරුෂයා ඒ වින්දනය හෙවත් එම වීම හා එක් වෙයි. වීම ධන වන නිසා වේදනා යන නමට පත්වේ. ඵස්ස පච්චයා වේදනා යන සිද්ධාන්තය අනුව ක්‍රියාවලිය සිදුවේ. මෙසේ හාමත් බලු ධර්මතාවයට පත්වීම බලවත් වන විට එහි ආශ්වාද හොයන මෝඩයාගේ ස්පර්ශය තව තවත් බලවත් කරයි. වේදනා පච්චයා ඵස්සෝ යන සිද්ධාන්තය මෙසේ ක්‍රියාත්මකය බලවත් වූ හාමත් බලු ධර්මතා ස්පර්ශයෙන් ඒ වීම ම බලවත් වී බලවත් හාමත් බලු ධර්මතාවේ වීම තර කර ගනී. බලවත් වූ වේදනාවට පත්වේ. අසත්පුරුෂයා මේ වින්දනය ප්‍රිය ලෙස, මධුර ලෙස සිතයි. එවිට ඒ තන්හිම හා වේ හෙවත් තණ්හා වේ. ප්‍රිය, මධුර ලෙස ගත් දුෂ්චරිත වූ හාමත් බලු ධර්මතාවයේ තණ්හා පහළ වූ විට වේදනා පච්චයා තණ්හා යන සිද්ධාන්තය ක්‍රියාත්මක වී ඇත. හාමත් බලු ධර්මතාවයේ හා වූ විට එයම යළි යළිත් බලවත්ව ඒ ස්වභාවයම ඒ පැවැත්ම සමඟ බලවත් ලෙස හා වේ.


(පිටුව 154)

නැත්නම් තණ්හා වේ. මෙසේ තණ්හා පච්චයා වේදනා වේ. යළි යළිත් එම වින්දනය බලවත් වේ. බලවත් වූ එම පාප ආස්වාද වින්දනය නිසා එහිම ඇලීම බලවත් වේ මෙසේ හාමත් බලු ධර්මතාවයේ තණ්හාව බලවත් වූ විට ඒ පාප ධර්මතාවයටම ඇදී සිටී. බැඳී සිටී. තණ්හා පච්චයා උපාදානං යන ධර්ම සිද්ධාන්තය ක්‍රියාත්මක වේ. මෙසේ හාමත් බලු ධර්මතාවයෙන් ඉවත් වන්නට බැරි ලෙස බැඳී ගිය විට ඔහු ඒ හාමත් බලු ධර්මතාවයට හසුවී හමාරය.

හාමත් බලු ධර්මතාවයට බැඳී ඒ වැඩ පිළිවෙලෙහිම හිතින්, කයින්, වචනයෙන් බලවත් සේ එම හාමත් බලු ධර්ම පාප ක්‍රියාවලියම බලවත් කරමින් බැඳී සිටී. මේ ආසන්නයේම ඇදී සිටීම හෙවත් උපාදාන වීම නිසා හාමත් බලු ධර්මතාවය කියන තණ්හිම යළි යළිත් හා වේ. නැත්නම් තණ්හා වේ.

උපාදාන පච්චයා තණ්හා යන සිද්ධාන්තය සිදුවේ. යළි යළිත් ඒ දුසිරිත් පාප ස්වභාවයේ ඇලෙන විට එයටම ඇදී බැඳී සිටී. බලවත් තණ්හා ප්‍රත්‍ය යෙන් බලවත් සේ උපාදානය මෙසේ වේ. මෙසේ ඒ මිනිසත් භවයේදීම හාමත් බලු ධර්මතාවය ආසේවිත හෙවත් ඇසුරු කර යළි යළිත් යෙදෙමින් භාවිත කර තද බල ලෙස ඇලී බැඳී ගොස් බහුලීකෘත කර ඒ අත්බැව්හිදී මිනිස් කය තිබිය දීම මානසිකව හාමත් බලු බවට පත්ව හිඳී. මේ හාමත් බලු කර්ම භව සකස් වූ හැටියි. උපාදාන පච්චයා භවෝ පටිච්ච සමුප්පාද සිද්ධාන්තය මෙහි ක්‍රියාත්මක වී ඇත. මෙසේ හාමත් බලු ධර්මතාවයට භව ගාමීව සිටින විට නැගෙන ශක්තිය දුෂ්චරිත වූ හාමත් බලු ජාතිය මතු පහළ කරන්නට හේතු වන කර්ම ශක්තිය ප්‍රභව කරයි. භව නම්වූ නාම ධර්මය ඇසුරු කර නොදිරන නාම ගෝත්‍ර නම් වූ නාම ක්ෂේත්‍රයේ පිහිටයි. ඉතාමත් ක්ෂණික ලෙස වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන චිත්ත චෛතසික උප්පාද, ඨිති, භංග යන ලෙස ඇතිව විපරිණාමව බිඳී ගියත් ඒ ගවේශණයන්ගෙන් අත් කරගත් ගෝත්‍ර “නාම ගොත්තං නජීරතී“ යනුවෙන් ශක්තිය ක්‍රියාත්මක වන තුරු නොදිරා ඒ ශක්තියද ඒ ගෝත්‍ර සමඟ එම ක්ෂේත්‍රයේ පිහිටනු ඇත.

පිටුව 151 සහ 152

(පිටුව 151)
තමන්ට අර්ථ නොවැටහුනත් ඇසුර ලැබුනේ අර්ථවත් දෙයක් නම් එයින්ද ත්‍රිහේතුක පුණ්‍ය සංඛාර වැඩෙන බව මේ උදාහරණ වලින් පළමුව තේරුම් ගත යුතුයි. බුදු පියාණන්වහන්සේ මධුර ස්වරයෙන් ධර්ම දේශනා කරන හඬ අසා සිටි මැඩියෙක් ඒ මොහොතේදී ගොපලු දරුවෙකුගේ කෙවිටකට හිරවී එවේලේම මිය ගොස් ඒ චිත්ත ප්‍රසාදයෙන්ම මණ්ඩුක නම් දිව්‍ය පුත්‍රව උපන් හැටිත් යළි ඒ දේශනාවම ශ්‍රවනය කර සෝතාපන්න වූ හැටිත් ත්‍රිපිඨක ග්‍රන්ථ වල සඳහන් වේ. කිරි වවුලන්, මුවන් ධර්ම ශ්‍රවණය මධුරත්වයට පැහැදී මිනිස් දරුවන්ව ඉපිද මේ සසුනේ මහණව නිවන් දුටු හැටිත් පසු කාලීන ධර්ම ග්‍රන්ථ වලද සඳහන් වේ. තිරිසන් සතුන්ට අර්ථවත්ව දහම් තේරුම් ගන්ට හැකියාවක් නැති නමුත් ආර්ය ශානතියෙන් නැගුන ස්වර මධුරත්වය පවා අර්ථවත් ශාන්ත රසවත් බව ත්‍රිහේතුක පිනත් සුචරිත ගුණත් ඇති කරන්නට හේතු වන බව මෙයින් පැහැදිලි වේ.
ප්‍රතිග්‍රාහකයා කෙසේ වෙතත් දායකයා දැනුවත් නම් ඤාණ සම්පයුක්ත නම් ඒ හේතුවෙන් කරන කටයුතු නිසා දායකයාටත් ප්‍රතිග්‍රාහකයාටත් ලැබෙන්නේ යහපත්කමය. දැන් අප පෙර මාතෘකාවට බසිමු. අප හිතමු අප කන්ට දුන් සතා බල්ලෙක් කියා, පළමුව අප මේ බල්ලා ගැන සිහි කළ යුත්තක් ඇත. හාමත්ව බඩගින්නේ සිටින බල්ලා යනු අප දුටු එක්තරා ජාතියකි. කුමන හෝ ජාතියක් විද්‍යාමාන වන ධර්ම න්‍යයක් ඇත. භව පච්චයා ජාති මේ සිද්ධාන්තයයි, ජාතිය යම්සේ වේද භව ඊට අනුකූලය. භව යනු යම් ස්වභාවයකි, නිර්මාණ ශක්තියකි, හාමත් බලු ජාතිය නිකම් පහළ වූවක් නොවේ. එබඳු ආකාරයක් නිපදවන ශක්ති ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයකිනි හාමත් බලු ජාතියක් නිපදවූයේ. එබැවින් මේ නිර්මාණ ශක්තිය හෙවත් “බව“ නිසාමත් බලු ජාතිය විද්‍යාමාන වූයේ සතර ධාතුන්ගෙනි. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු යන ධාතු හතර හාමත් බලු බව නැමැති නිශ්පාදන ශක්තියට ගෝචරව ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයකි හාමත් බලු ජාතිය. එබැවින් මෙය හේතුවක ඵලයකි. පෙර භවයකදී නිපදවා ගත් හාමත් බලු ජාතියක් මතු කලෙක පහළ කරන ප්‍රධාන ශක්තිය නොතිබුනා නම් මෙසේ දැන් හාමත් බලු ජාතියක් දක්නට මගක් ඇති නොවේ. (මේ විමසන්නේ යම් භවයක ඉපදුන පසු නිපදවා ගෙන ප්‍රතිඵල ඒ භවයෙම ලබන ප්‍රවෘත්ති පටිච්ච සමුප්පාද පිළිවෙල නොවේ. පෙර භවයක කරන ලද්දක් හේතුවෙන් මතු භවයක ක්‍රියාත්මක වන අයුරු පෙන්වන පටිච්ච සමුප්පාද න්‍යාය බව තේරුම් ගත යුතුය)
 
(පිටුව 152) 
මෙබඳු කර්ම ශක්ති පහළ කරන්නේ බොහෝ විටම මිනිසෙක්ව සිටි භවයකදීය. හාමත් බලු ජාතියක් පහළ කරන්නට හේතු වට මුල වූ අවිද්‍යා සහගත සංඛාර වැඩ පිළිවෙලක් වේද එයයි මේ හාමත් බලු ජාතියේ ආරම්භය. බුදු, පසේ බුදු, මහ රහත්, මහ සෘෂි ආදී උතුමන් ලොවට දෙසූ යහපත් දෙසුම්ය සත්පුරුෂයන් පිළිගත් සත් බස. මිසදිටු ගත් අසත් පුරුෂයෝ මේ සත් බස ඉවත දමා “බහ - ලූ“ නිසා බලු යන වැඩ පිළිවෙලට බසිති. යම් මිනිසෙක් තමා විසින් පෝෂණය කළ යුතු තැන සිටින දෙමව්පියන්, අඹුදරු, වැඩිහිටි, ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී පිරිසන් එසේ ගුණ දැන පෝෂණය කළ යුතුයි යන සත් බසට ගරහමින් ඒ බස ඉවත ලමින් එබඳු පිරිස් හාමතෙහි තබා තමාගේ පෝෂණයට ආත්මාර්ථකාමීව බැසගත් වැඩ පිළිවෙල හාමත් බලු සංඛාර බව දැන ගත යුතුය. වැපුරූ දේට අනුවයි අස්වැන්න කියන සේ වැපුරූ සංඛාර හාමත් බලු සංඛාර නම් මෙහි පටිච්ච සමුප්පාද හේතු ප්‍රත්‍ය හාමත් බලු විඤ්ඤාණයෝය. හාමත් බලු විඤ්ඤාණ එම සංඛාර වල ප්‍රතිඵලයකි. මෙය දෙපසට වැඩෙන ධර්මයකි. ඒ විඤ්ඤාණය බලවත් වන විට එහි යළි යළිත් බලවත් වෙමින් හාමත් බලු සංඛාරම බැස ගනී. අපේ භාෂාවෙන් මෙය කියනවා නම් “මොනවා හරි කරල පුරුදු වුනහම ඒක අත්හැර ගන්නට බැරුව ඒවම කරනවායි“ කියන එකයි. ඒවම කරන්ට කරන්නට වැඩෙන්නේ ඒවා අත්හැර ගන්නට බැරි ලෙස බලවත් වන සිතයි. මෙසේ හාමත් බලු විඤ්ඤාණය යළි යළිත් බලවත්ව හාමත් බලු සංඛාරම ඇසුරු කරයි. සංඛාර නිසා යළි යළිත් හාමත් බලු විඤ්ඤාණයම බලවත් වේ. දැන් මේ හාමත් බලු විඤ්ඤාණය හාමත් බලු ධර්මතාවයටම නැමෙමින් එම ධර්මතාවයම රුප්පනය කරයි. විඤ්ඤාණ පච්චයා නාම රූපං යන සිද්ධාන්තයයි මේ ක්‍රියාත්මක වූවේ, හාමත් බලු ධර්මතාවයට නැමී එයම රුප්පනය කරන (මතු කරන) විට හාමත් බලු විඤ්ඤාණයම බලවත් වෙමින් යළි යළි නැගෙනු ඇත. නාම රූප පච්චයා විඤ්ඤාණං යනුවෙන් ආපසු බලය වර්ධනය කරන සිද්ධාන්තය මෙසේ ක්‍රියාත්මක වේ. මීළඟට හාමත් බලු ධර්මතාවයට නැමෙමින් ඒ ධර්මතාවය රුප්පනය වන්ට වූ විට ඉන්ද්‍රීය 6ට හෙවත් ඇස, කණ, දිව, නාසය, කය, මන යන හයට නිදහසේ ඉන්ද්‍රීය මට්ටමින් සිටින්ට ඉඩ නැත. ඉහත කී ධර්ම රටාව පවත්වන්නට මේ හය ආයතන බවට පත්වේ. දැන් පෙර ඉන්ද්‍රීය ලෙස තිබූ ඉන්ද්‍රීය 6 දැන් හාමත් බලු ධර්මතාවය ගැවසෙන ආයතන 6කි. එනම් හාමත් බලු සලායතන බවට පත්වී ඇත.

Mar 1, 2011

පිටුව 149 සහ 150

(පිටුව 149)
මෙසේය අවිද්‍යාව තුන් භව උපතට හේතු වන්නේ. ලෝක ආස්වාද භුක්තිය පරමාර්ථය කොට ගෙන කරන පූණ්‍ය සංස්කාර, පාප ස්සංකාර, අනේඤ්ජාභී සංසකාර මේ අවිද්‍යා කාරණා 23 තුළින් සිදුවේ. මේ ආර්ය භාවය සිදු කරන්නට හේතු වන පිං හෝ ආනෙඤ්ජාභි සංඛාර නොවේ. භව ‍ගමනට හේතු කාරකය. ලෝක සම්මත ලෞකික පැවැත්මකට හේතු වන අලෝභ, අදෝෂ, අමෝහ නම් මේ අවිද්‍යා ප්‍රත්‍ය වන සංඛාර වලට අයිතිය. ආර්ය මාර්ගය වඩන අයගේ අලෝභ, අදෝෂ, අමෝහ මීට හාත්පසින් වෙනස්ය. හටගත් සියල්ල විපරිණාමයට පත්ව වැනසී යන ලෝකයේ මොනවා සුබ යැයි අල්ලන්ටද, වැඩක් නැතැයි ධර්මාවබෝධය හේතුවෙන් අත් හැරීමක් වේද. මේ අලෝභය ආර්ය අලෝභයයි.
මේ දහම් නුවණ තීක්ෂණ කරන්නට මනාසේ සත්‍යම සිහි කළ යුතුයි. ‍ඒ සඳහා ආයුෂ, වර්ණ්‍ය, සැපය, බලය, පටිභාණ නුවණ මහත් උපනිශ්‍රයකියි දැන ඒවායේ අවශ්‍යාතාවයටත් ඒ මග වඩන අයට එම උපනිශ්‍රය ලැබීමටත් අවශ්‍ය බව සිතා දන් දෙයි. සිල් රකියි, භාවනා කරයි. දස පිං කිරියවත් කරයි. අලෝභීව, අද්වේශීව, අමෝහීව කරන මේ කටයුතු ආර්යයන්ගේ සහ ආර්ය මාර්ගයට ආධාරක බලාපොරාත්තු වන අයගේ කුසල මූල ප්‍රත්‍ය වූ සංඛාර වේ.
සෑම විටම පරමාර්ථය  ලෝක සම්පත්තියක් නොව නිවනය. ඊට අදාල නොවන දේට නියම බෞද්ධයා බලාපොරොත්තු නොතබනු ඇත. නියම ලෙස භික්ෂු ජාතිය, භික්ෂූනී ජාතිය, උපාසක ජාතිය, උපාසිකා ජාතිය පහළ නොකර කෙතෙක් ධර්මය සිහි කරන්නට නිවන් දකින්නට උත්සාහ කළත් සඵලත්වයක් නොලැබෙනු ඇත. ආර්ය පටිච්ච සමුප්පාදය තේරුම් ගෙන ඒ මග ක්‍රමානුකූළව යන අයට නියම ආර්ය ජාති හතරෙන් තමන් කැමති ජාතියකට පත්විය හැකිය. එවිටයි ආර්ය වූ ධ්‍යාන මාර්ගඵල සපුරාගෙන ඉහාත්ම සූඛ විහරණයත් නිවන් සුවයත් ලබන්නට හැකි වන්නේ. තර්ක වාද මගින් ජය ගත්තාට තම ලබ්ධිය නගා සිටෙව්වාට ආර්ය ජාති වල වේශධාරීන් විද්‍යාමාන වෙනවා මිස නියම ආර්ය ජාති හෝ ආර්ය ප්‍රතිඵල හෝ විද්‍යාමාන නොවේ. නියම බුදු සසුන විද්‍යාමාන නොවේ. එදිනෙදා අප කරන දාන මාන ආදියේදී එය ආර්ය පූණ්‍ය කර්මයක් හෝ ආනර්ය පූණ්‍ය කර්මයක් දැයි තෝරාගන්නේ කෙසේද කියා සොයා ගත යුතුයි.

(පිටුව 150)
බල්ලෙකුට, බළලෙකුට හෝ සතෙකුට ආහාර ටිකක් දීමේදී මේ දෙයොකාරයේ පින කෙසේ ලැබේදැයි සොයා බලමු. බඩගින්නේ හාමත්ව බලා සිටින බල්ලෙක් දැක අනුකම්පා උපදවා උන්ට ආහාරයක් දුන‍්නොත් ඒ කෙබඳු අදහසකින් දුන්නාද කියා මෙසේ බැලිය යුතුයි. අනේ මේ සතා බඩගින්නේ හාමත් වෙලා. මුගේ දුකට මම පිහිට වෙමියි ආහාරයක් දුන්නා යැයි සිතමු. බඩ පිරුන සතා දැන් ප්‍රබෝධයි. ඌ උඩ පනිමින් දඟලමින් ප්‍රබෝධයෙන් සිටින හැටි දැක සතුටුද වෙයි කරගත්තේ පුණ්‍ය කර්මයකි. අප සතුටු වුනේ කුමන හේතුන් මතද? සතාගේ බඩගින්න, මිහන්සිය තාවකාලකිව දුරුවී දැකීමත් ඌ සතුටින් සෙල්ලමින් සිටිනවා දැකීමෙනුත්ය. ඒ සතාට ලැබුන ප්‍රතිඵලය කෙතෙක්ද? පැය ගණනකට බඩගිනි නිවී යාමත් ලෝකාස්වාදායක මුලාවේ සතුටින් ටික වේලාවක් දැඟලීමත් හැර ඌට වූ යහපත කුමක්ද? උගේ තිරිසන් අත් බව දුරු වීමට ඉන් ප්‍රතිඵල මාත්‍රයක් වත් උට ලැබුණද? අප සතුටු වුවේ අනිච්ඡ වූ දුක් වූ මමය, මාගේය, මගේ ආත්මයය යන දෘෂ්ඨියකට ගොදුවුර වූ ලෞකික පැවැත්මක් දැක නේද? එයින් අප ලබා‍ ඇත්තේ අප සතුටු වූ වර්ගයේ පිනකි. එහි ප්‍රතිඵලය අපටද එබඳු අවස්ථාවක් උදා වී එබඳු මුලා සතුටක් ලබන්නට හේතු වීමය. වැපිරූ හැටියටයි අස්වැන්න. මේ අනාර්ය පිනක් ඇතිවූ හැටිය.
එම ක්‍රියාවලියම ආර්ය පිනක් වන සැටි තේරුම් ගනිමින් අප නිතර ගැවසිය යුත්තේ අපගේ දහම් ගුරුවරයා ඇසුරෙහිය. එනම් පටිච්ච සමුප්පාද න්‍යාය තුළින් දුක සහ දුකට හේතුව දැන ගැනීමත් පටිච්ච සමුප්පාද නිරෝධ න්‍යාය තුලින් දුක්ඛ නිරෝධයත් නිරෝධ ප්‍රතිපදාව අනුගමනයත් සිදුවන වැඩ පිළිවෙල තුළය. එසේ කටයුතු කරන විටය ගඟ නොනැවතී මුහුද කරා ගලා යන ලෙස අප නිවනට ගමන් කරන්නේ. ඉහත කී සතාට දානයක් දුන් පින ආර්ය මාර්ගයට අයිති කටයුත්තක් වන්නේ මොන අදහසකින් කටයුතු කළොත්ද? සමහර විට අද සම්ප්‍රදායික ක්‍රමය අනුව මේ පින මට නිවනටම හේතු වේවා කීමෙන් එය සිදුවෙතැයි සිතිය හැකිය. යමෙක් ඔහුගෙන් ඇසුවොත් ඒක වෙන ක්‍රම රටාව කොහොම කියා. අපි දෙන පිළිතුර කුමක්ද? ආර්ය මාර්ගය ඥාන සම්ප්‍රයුක්තය. අර්ථය නොදැන කරන දෙය ඥාන සම්පයුක්ත වන්ට කෙසේ බලපායිද? දානයේ විශේෂත්වය ඇති කරන අවස්ථා 3කි. දැහැමි දාන වස්තුව, දායකයාගේ දැනුවත් බව (ඥාන සම්පයුක්ත බව) ප්‍රතිග්‍රාහ‍කයාගේ ඥාණ සම්ප්‍රයුක්ත බව මේ කරුණු 3යි.

පිටුව 147 සහ 148

(පිටුව 147)
මේ ජාති හතරට පත්වීමට එම වේශයෙන්ගෙන් හෙවත් වේශ ධාරීව සිටියාට බැරිය.. එයටද පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායක් ඇත. බෞද්ධ සිව් පිරිස පහළ කරන මේ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය අද විභංග ප්‍රකරණය නම් අභිධර්ම ග්‍රන්ථයට සීමාවී ඇති සේ පෙනේ. භාවිතයට විද්‍යාමාන වූ බවක් මෙකල දක්නට නැත. සත්පුරුෂ පින්වතුන්ගේ දැන ගැනීමට විභංග ප්‍රකරණයේ පච්චයාකාර විභංගයේ ඇති ඒ න්‍යාය මෙහි දක්වනු ලැබේ.
කුසල මූල පච්චයා සංඛාරා
සංඛාර පච්චයා විඤ්ඤාණං
විඤ්ඤාණ පච්චයා නාම රූපං
නාම රූප පච්චයා සළායතනං
සළායතන පච්චයා ඵස්සෝ
ඵස්ස පච්චයා වේදනා
වේදනා පච්චයා පසාදෝ
පසාද පච්චයා අධිමොක්ඛෝ
අධිමොක්ඛ පච්චයා භවෝ
භව පච්චයා ජාති
ජාති පච්චයා ජරා මරණං
ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝති
මෙහි ආරම්භය අවිද්‍යා ප්‍රත්‍යෙයන් නොව කුසල මූල හෙවත් අලෝභ, අද්වේශ, අමෝහ ප්‍රත්‍ය යෙනි. වේදනා පච්චයා තණ්හා යැයි නොයෙදී වේදනා පච්චයා පසාදෝ යනුවේන තණ්හාව වෙනුවට ප්‍රසාදය උපදින බව පෙන්වා ඇත. ඒව මේතස්ස කේවලස්ස දුක්කක්ඛන්ධස්ස සමුදයෝ හෝතී යනුවෙන් මෙසේ සියලු දුක් රැස පහළ වේ වෙනුවට ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝත් යනුවෙන් මෙසේ ධර්මයන්ගෙ පහළ වීම වේ කියා පෙන්වා ඇත. එබැවින් මේ පටිච්ච සමුප්පදය දුක හට ගන්වන, මතු දුකට හේත වන එකක් නොව ආර්ය භාවයට හේතු වන්නක් බව පෙනේ.
සමහරු මේ දහම් යටපත්වීම නිසා දස පූණ්‍ය ක්‍රියාවන් දුකට, පැවැත්මට හේතු වේ යැයිද එයත් අවිද්‍යා ප්‍රත්‍යෙයන් වන සංඛාර වැඩ පිළිවෙලක් යැයිද වරදවා තේරුම ගෙන පිං නොකර සිටී. නොකළ යුතු පිං ක්‍රමයක්ද ඇත. අවිජ්ජා පංච්චයා සංඛාර කියන තැන සංඛාරා යන්නට අර්ථ දෙන විට “පුඤ්ඤාභි සංඛාරා, අපුඤ්ඤාභි සංඛාරා, ආනෙඤ්ජාභි සංඛාරා අයං වුච්චති අවිජ්ජා පච්චයා සංඛාරා“ යනුවෙන් අවිද්‍යා ප්‍රත්‍යෙයන් හටගන්න පුණ්‍ය සංඛාර අපුණ්‍ය සංඛාර ආනෙඤ්ජාබි සංඛාර (අරූප සංඛාර) යැයි කොටස් 3ක් පෙන්වා ඇත. කුසල මූල සංඛාර නම් මේවා නොවේ. මෙය විග්‍රහ කොට තේරුම් ගත යුතුයි.

(පිටුව 148)

අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න පූණ්‍ය සංඛාර, අපුණ්‍ය සංඛාර, අනෙඤ්ජාභි සංඛාර (අරූප සංඛාර) යැයි කොටස් තුනක් පෙන්වා ඇත. කුසල මූල සංඛාර නම් මේවා ‍නොවේ. මෙය විග්‍රහ කොට තේරුම් ගත යුතුයි. අවිද්‍යාව යනු මෝහය නම් පිං සිත් වලට එය ඇතුලු වන්නේ කෙසේ දැයි ධර්ම ධර පින්වත් පිරිස් අතරද මෙකල ගැටලුවක් මතුවී ඇත. අභිධර්මය ඉවත දමා මේ ප්‍රශ්නය නිරාකරණය කළ නොහැකියි. අභිධර්ම කරුණු නොවිමසා ගත් තීරණයකි අවිද්‍යාව නම් මොහයයි කියන අදහස. විභංග ප්‍රකරණයේ අවිද්‍යාව මෝහයට සීමා කර නැත. කරුණු 23ක සම්පිණ්ඩනයකි අවිද්‍යාව. එය සඳහන් වන්නේ මෙසේය. 
“තත්ථ කථමා අවිජ්ජා? යං අඤ්ඤාණං, අදස්සනං, අනභිසමයෝ, අනනුබොධෝ, අසම්බෝධෝ, අප්පටිවේදෝ, අසංගාහනා, අපරියෝගාහනා, අසමපෙක්ඛනා, අපච්චක්ඛ කම්මං, දුම්මේජ්ජං, බාල්‍යං, අසම්පජඤ්ඤං, මොහෝ, පමෝහෝ, සම්මෝහෝ, අවිජ්ජා, අවිජ්ජෝඝෝ, අවිජ්ජායෝගෝ, අවිජ්ජානුසයෝ, අවිජ්ජා පරියුට්ඨානං, අවිජ්ජා ලංගී, මොහෝ අකුසල මූලං අයං වුච්චති අවිජ්ජා.“
චතුරාර්ය සත්‍ය නොදැනීමේ පටන් ක්‍රමයෙන් බලවත් වන නොදැනීම දුම්මෙජ්ජං කිව් තැන පටන් ක්‍රමයෙන් අඳුරු ගත් ස්වභාව පහළ කිරීම ආරම්භ වී මොහෝ යන තැන පටන් සත්‍ය කීවත් තේරම් ගන්ට නොහැකි තත්වයට මොටවී අන්තිමයේ මොහෝ අකුසල මූලය වූවේ 23 වැනි අවිද්‍යාවේ පහත්ව අවස්ථාවයි. එබැවින් අවිද්‍යා යන කාරණා 23ක එකතුව එකක් කොට ගත් විට ඒ අවිද්‍යාව භව මූලයකි. කාම සම්පත් වලට ආශාවෙන් පිං කරන විට කාම සුගති වල උපදවන්ට හේතු වන කොටස එහි අවිද්‍යා ලෙස ඇතුලත් වේ. ඒ කාම භව මූල කොටසයි. රූපාවචර ලොවක බ්‍රහ්ම සුවයට ආශාවෙන් ඇලී ධ්‍යාන වඩන විට අවිද්‍යාවට අයත් කරුණු 23න් එහි යෙදෙන්නේ එයට හේතු වන අවිද්‍යා කොටස්ය. අරූප ලෝකයක සුව බලාපොරොත්තුවෙන් හෝ අරූප ලොව නොනැසෙන තැනකි යන දෘෂ්ඨියෙන් අරූප ධ්‍යාන වඩන විට අවිද්‍යාවට අයත් කරුණු 23න් ආරම්භක කොටස් වලින් ඊට අයත් අවිද්‍යා කොටස් ඇතුළත් වේ.

Feb 6, 2011

පිටුව 145 සහ 146

(පිටුව 145)
ආත්ම සංකල්පීය මුලා ස්පර්ශ වල පිහිටි ලෝ සතුන්ට ඉහත කී වේදනාවෝ පහළ වෙත්. එයයි ඵස්ස පච්චයා වේදනා කීවේ. ආත්ම සංකල්පීය වූ අවිද්‍යා, තෘෂ්ණා සහිත ලෝ සතුන් මේ වින්දන අගේ කොට සලකා ඒවාට තදින් ඇලුම් කරති. ආශා උපද්දවති. ඒවාට විරුද්ධ කාරණා ගොඩ නැගෙන විට ඒ විරොධතා යටපත් කර ආශ්වාද වින්දන භුක්ති විඳින්නට ඕනෑම අකටයුත්තක් අකුසලයක් කරන්ටද කැමති වෙයි. ඇලීම කියන තැන්හි හෝ ඒ ආශාවන්ට වැට බඳින අකුල් හෙලන ඕනෑම කෙනෙකුට විරුද්ධව පහර ගසන්ට කැමතිව එබඳු තැන්හි හෝ හා වෙයි. මෙසේ ඒ ඒ තැන්හි හා වෙමින් හෙවත් තණ්හා වෙමින් පැව්ත්මම ඉදිරියට ගෙන යන්ට උත්සහා දරති. මේ මුලා උත්සාහය සරු ලෙසම ගනිති. තතු දත් ආර්ය උතුමන්, විශෙෂයෙන් අරිහතුන් වහන්සේලා මේ නිෂ්ඵල පැවැත්මේ කිසි තැනකට හා නොවෙති. තණ්හා නොවෙති. මේ නිෂ්ඵල වැඩ පිළිවෙලයි වේදනා පච්චයා තණ්හා කීවේ. මේ නිෂ්ඵල වූ මුලා සහගත පැවැත්මට හේතුවන ඒ ඒ ප්‍රිය මනාප මධුරත්වයෙහි ඇලී ඒ ඒ තැන්හි හා වෙන විට සිදුවන්නේ තව තවත් ලෝකයට බැඳී යාමයි. ලෝකයේ ආසන්නයටම ඇදී සටීමයි. ඒ මුලා සහගත ආත්ම සංකල්පීය අවිද්‍යාව, තෘෂ්ණා සහගත ලෝක ස්වභාවයට ආසන්නව බැඳී යාමයි උපාදානය කීවේ. ප්‍රිය මනාපයේ ඇළුම් කර ඊට ළං වන විට ගැලවිය නොහැකි සේ බැඳෙන්නට සිදුවේ. ඇලෙන මේ වැඩ පිළිවෙල මුලාවක් සේ දත් ආර්ය උතුමෝ ඒවාට බැඳී සිටීම මුලාවෙන් මුලාව සේ දකිති. උන්වහන්සේලාට ඇලීම නැත. බැඳීම නැත. මේ මුලා සහගත ආකර්ශනයටයි තණ්හා පච්චයා උපදානං කීවේ. මෙසේ ආත්ම සංකල්පීය අවිද්‍යා, තෘෂ්ණා බැඳීම නිසා එයින් නොසෑහී ඒ ඒ බව දරන්නට පටන් ගනී. එය මුලා බවක් සේ නොහැඟේ. තත්ව ඨානාන්තර, කුළ මල ජාති භේද, වත් පොහොසත් කම් බල පුළුවන්කාරකම් ආදී අනේක විධ ඒ එඒ භවයන්හි ලැග ගෙන මහ උද්දාමව සිටී. මතුවටද අත් නොහරින අවිද්‍යා සහගත, තෘෂ්ණා සහගත ආත්ම සංල්ප වලින් බැසගත් මේ භව හේතු කොට මෙලාවෙදී කර්ම භව ලබා සිට මිය යන විට උප්පත්ති වශයෙන්ද අනුරූප බවට ශක්තිය විහිදුවා සිටී. මේ ආත්ම සංකල්පීය අවිද්‍යා, තෘෂ්ණා සහගත ලෝ සතුන්ගේ අත් නොහැරී භව ස්වභාවයයි. මුලා සහගත මේ කිසිම භව ස්වභාවයක් ආර්යයෝ හොඳ යැයි අනුමත් නොකරති. අරිහතුන් වෙහන්සේ මේ සියලු භව ස්වභාවයන්ගේ නිස්සාරත්වය මනාසේ දැන සියලු භව මොලොවදීම අත් හරී. මෙයයි මුලාවූ ලෝකයාගේ උපාදාන පච්චයා භවෝ කීවේ.
 

(පිටුව 146)
අවිද්‍යා, තෘෂ්ණා සහගත ආත්ම සංකල්පීය පුද්ගලයා මෙලොවම මෙබඳු භවයන්හි කිඳා බැස ඒ ඒ භව වලට අනුරූප ජාති ඇසුරු කරමින් ඒ ඒ භව වලට අනුරූප ජාති ගතිකයෙක් ලෙස ජීවත් වේ. උපයාගෙන තිබෙන්නේ යමක්ද ඔහුට උරුමය එයයි. පැවැත්මේ මුලා සහගත බලාපොරාත්තුව පැවැත්මට කර්ම ශක්තිය නිපදවන අතර දූෂ්‍ය හෝ ප්‍රසන්න ස්වභාවයට අනුරූපව කය බිඳී මරණින් මතු ඒ ඒ ජතිකයන්ව උපත ලබයි. මේ මුලා සහගත දුක හා දුක් හේතුවය. කිසිම භවක නැති අරිහතුන් වහන්සේට මතු පැවැත්මක කිසි බලාපොරාත්තුවක් නැත. මුල වූ අවිද්‍යා තෘෂ්ණා සහගත ආත්මීය සංකල්පය නැත. මතු පැවැත්මට හේතු වන ශක්තිය බිඳ හළ උන්වහන්සේ මේ අන්තිම ජාති කෙළවර පිරිනිවන් පායි. මතු උපත නැත. සියලු දුකින්, දුක් පැවැත්මෙන් නිදහස් වේ. මුලාවූ සතගේ භව පැවැත්මේ ශක්තියෙන් මතුවට ජාති පහළ වන්නේද මෙසේය. මෙයයි භව පච්චයා ජාති කීවේ. අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ආත්මීය සංකල්පයන්ගෙන් මොට වී ලොවට කෑදරව මම මගේ නිපදවන ඔහුට කැඩී බිඳී විනාශ වීම කඩා බිඳ විනාශ කර දැමීම කෙතෙක් ආරක්ෂා සංවිධාන යෙදුවත් නිසි කල්හි කැඩී යාම බිඳී යාම විනාශ වී යාම හේතුවෙන් අස්ථාන බිය, සැක, දෙකින් කම්පා වෙමින් සිට මහත් ශෝක, දුක්, සුසුම් ලෑම්, ඇඬීම් වැලපීම් ආදී අනේක විධ දුක් සමූහයද ආත්මීය වූ අවිද්‍යා තෘෂ්ණා සහිත සංකල්පය නිසා ඒ දුක් සිය දහස් ගුණයෙන් සිතින් මවා ගෙනද විඳින්නට සිදුවේ. භව ගමන නිමක් දකින්ට ඒ දෘෂ්ටිය, ඒ ලබ්ධිය අත් නොහැර බැරි නිසා අනාදිමත් ඉදිරියකට, අනාදිමත් කාලයකට දුකින් නිදහස වන්ට බැරිය. මෙසේ පටිච්ච සමුප්පාදයෙන් දුකත්, දුකට හේතු වන වැඩි පිළිවෙලත් දේශනා කර ඇත. බුදු පියාණන්වහන්සේ දේශනා කළේ දුක පිරිසිඳ දැන දුකට හේතුව මොලාවෙදී වනසන්ටය. එසේ නම් පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය භව ගමනකට බැඳ නොතබා මේ ජීවිතයටම උරුම බව දැන මේ ජීවිතයේදීම දුකත් දුකට හේතුවත් බිඳ හරින්නට උත්සාහ කළ යුතුයි. දුකත් දුකට හේතුවත් මේ ජීවිතයේදීම බිඳ හරින්නට නම් ඊට අවශ්‍ය පසුතලය සකස් කළ යුතුයි. ඒ සඳහා උපතින් පසු ලැබිය යුතු ප්‍රවෘත්ති ජාති හතරක් ඇත. භික්ෂු, භික්ෂූණී, උපාසක, උපාසිකා යන ජාති හතරට පත්විය යුතුයි.

Jan 31, 2011

පිටුව 143 සහ 144

(පිටුව 143)
ලෝ සතුන් ආත්ම දෘෂ්ටිය නිසාම ඒවා සමඟ එක්වේ. අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන්, ඒවා සමග එක්ව දිවි ගෙවයි. මේ සඳහා ඇස, කණ, නාසය, දිව, කය, මන යන ඉන්ද්‍රීය 6ක් උපයෝගී කරගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන 6ත් සමග සම්බන්ධව බැඳී කරන ක්‍රියාවකට බසී. ඉන්ද්‍රීය 6 ආයතන කීවේ එසේ බැඳීමෙන් ඉන්ද්‍රීයන් තුළ ක්‍රියාත්මක වන නිසායි. මේ තමයි ලෝක භුක්තිය විඳීමට බැස ගත් ක්‍රමය. මෙසේ ආයතන 6ක් සමග ක්‍රියත්මක වන්නේ ආත්ම දෘෂ්ඨිය මුල් කරගෙනයි. ආත්ම දෘෂ්ටිය හැර අවිද්‍යා, තෘෂ්ණා දුරු කළොත් ඇස චක්ඛු ධාතුවක් පමණි. රූප රූප ධාතු පමණි. ඇසෙහි වත් රූපයෙහි වත් ආශා බන්ධන නැති විටයි ආයතන ස්වභාවය දුරු වන්නේ. දෘෂ්ටියෙන් මුලාවෙන් නාම රූප සමග බැඳී කටයුතු කරන විටයි දුකෙහි ගිලවමින් ආයතන බිහි කරගන්නේ. නාම රූප පච්චයා සලායතනං කීවේ මෙයයි. ඇසෙන් රූප ගැනීම, කනෙන් ශබ්ද ඇසීම, දිවෙන් රස ගැනීම, නාසයෙන් ගන්ධය ගැනීම, කයෙන් පහස ගැනීම, මනෙන් ධර්ම ගැනීම යන අවිද්‍යා සහගත තෘෂ්ණා සහගත බලාපොරොත්තු සහිතවම පෙර භවයේ මිය ගිය නිසා බලාපොරොත්තු වලින් ජනිත කළ ශක්තිය හෙවත් කර්ම ශක්තිය මතු භවයක සුදුසු පරිදි මේ ඉන්ද්‍රීය 6 නිපදවන බැවින් යළි මුලාව නොහැර සිටින තුරු ආයතන කරගනී. මුලාව අත්හල දින මේ ආයතන පහළ කිරීම නවතින බැවින් මතු භවයක ඉන්ද්‍රීය 6 පහළ වීමට ශක්තිය බිහි නොකරයි. එවිට ඒ ශරීරය භව ගමනේ අන්තිම දේහය වනු ඇත. අන්තිම දේහධාරී කියන්නේ අරිහතුන් වහන්සේයි.  ආයතන 6 පවත්වන්නේ අවිද්‍යා, තෘෂ්ණා මුලාව නිසා බැවින් ලෝක ආස්වාද භුක්තියට නැමී ඒ සඳහා ආත්ම සංකල්පී වූ ස්පර්ශ ලබන්නට පටන් ගනී. මේ ස්පර්ශයෝ සත්‍යයෝ නොවෙති. දෘෂ්ටිගාමී මුලා ඇසුර නිසා වන්නකි. ඇහැට රූප ස්පර්ශ වීම, කණට ශබ්ද ස්පර්ශ වීම, දිවට රස ස්පර්ශ වීම, නාසයට ගන්ධ ස්පර්ශ වීම, කයට පහස ස්පර්ශ වීම, මනට ධර්ම ස්පර්ශ වීම ආදිය විපාක ස්පර්ශයෝය. සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වේ කීවේ මේවා නොවේ. ආත්ම සංකල්පීය වූ මුලා ස්පර්ශයෝය. ආත්ම දෘෂ්ටි දුරු කොට අවිද්‍යා, තෘෂ්ණා සිඳලූ විට මේ ආත්ම සංකල්පීය ස්පර්ශයෝ නවතින. සසර දුකින් මිදීමට නවතා ගත යුත්තේ මේ ආත්ම සංකල්පීය දෘෂ්ටි ස්පර්ශයයි. මෙයයි සලායතන ප්‍රත‍්‍යයෙන් වන ස්පර්ශය. සලායතන පච්චයා ඵස්සෝ කීවේ මෙයටයි.
(පිටුව 144)

මේ ආත්ම සංකල්පීය දෘෂ්ටි ස්පර්ශය නිසා ලබන්නේ මුලාවූ ආත්ම සංකල්පීය වූ දෘෂ්ටි වේදනාවය. එවිට නිශ්ඵල වින්දනයන්ගෙන් කොටසක් සැප වේදනා සේ වැටහේ. කොටසක් දුක් වේදනා සේ වැටහේ. කොටසක් උපේක්ෂා වේදනා සේ වැටහේ. යම් දිනක ආත්ම දෘස්ටිය දුරු කර අවිද්‍යා, තෘෂ්ණා නැසූ විට මේ කියන සැප වේදනා දුක් ලෙස දකී. දුක් වේදනා හුල් ලෙස දකී. උපේක්ෂා වේදනා අනිච්ච ලෙස දකී, එවිට ඒ මුලා සහගත වේදනාවන් ගෙන් මිදුනෙක් වේ.   කුඩා දරුවෙකු වැලි සෙල්ලම් බත් ඉවීමෙන් ලබන්නේ සැප වේදනාවකි. පාරේ වැටී තිබෙන රන්වන් පාට ටොෆි කොලය ඔහුට සැප වේදනා ගෙන දෙයි. ‍ඔහු ඒවා ආශා වෙන් බදාගනී. දැනුවත් වැඩිහිටියන්ට මෙබඳු කටයුත්තක පොඩි ලමයි සේ නිරත වෙන්ට වූවොත් එයින් ලබන සැප වේදනාවක් නැත. එය නිස්සාර වෙහෙසක, දුකක් සේ පෙනේ. ඉතා සුළු ගැහැටක් දරන්නට ශක්තියක් නැති කුඩා දරුවාට ඒවා ඉවසිය නොහැකි දුක් වේදනාවන්ය. නැණවත් වැඩිහිටියකුට ඉතා සුළු ගැහැටකටත් මොර දෙමින් අඬවයි කවුරු හෝ අණ කෙරුවත් එය ඇද පලුදු සහිත වුවත් උලක් සේ වැටහේ. ඔහු සුළු දේට එසේ අඬමින් හැසිරෙන්නේ නැත. දරුවාගේ නිහඬතාවය නිකරුනේ බලා සිටීම දරුවාට උපකේෂා වේදනාවකි. නැණවත් වැඩිහිටියා එබඳු ස්වභාවයට කැමත්තක් නොදක්වයි. මේ ලෝකයේ සාමාන්‍ය උපමාවකි. ආත්ම දෘෂ්ටියෙන් දෘෂ්ටිගත අවිද්‍යා, තෘෂ්ණෘ සහිතයා බුදු දහම අනුව නැණවතුන්, පැනවතුන් දකින්නේ බලායෙක් ලෙසයි. “අන්ධෝ බාලෝ පෘථග්ජනා” යයි දේශනා කළෙ‍් එබැවිනි. ආත්ම සංකල්පීය දෘෂ්ටි සහගත ස්පර්ශ ලබන ලෝක බාලයා එවායින් උද්දාමව මහා හඬින් ප්‍රීති වෙයි. සැප වේදනා යැයි මුලා වින්දනයෙන් සතුටු වෙයි. ආත්ම සංකල්පීය ස්වභාවයෙන්ගේ විපරිණාමයේදී විනාශයේදී හඬයි. දුක් වෙයි. දුක් වේදනා පහළ කරමින් සංවේගයට පත්වෙයි. ගෙවී යන තාවකාලික නිදහස් සංකල්පීය ආත්ම දෘෂ්ටි සහගත අවස්ථා වල ලෞකික වූ සාස්වත දෘෂ්ටි සගහතවූ උපේක්ෂාවන් නිදහස යැයි සලකා උපේක්ෂා වේදනාවෙහි තැන්පත් බවකින් කල් ගෙවයි.  මේ සියල්ල නිශ්ඵල වින්දනයන් බව යථාර්ථය වටහා ගත් ආර්යයෝ දනිති. අරිහතුන් වහන්සේ මේ පිළිබඳව සම්පූර්ණ දැනීම් ඇති උතුමෙකි. එබඳු උතුමන් මේ මුලා වල බැස නොගනියි.